පොදුජන - ශ්‍රීලනිප එකතුවෙන්න පොහොට්ටුව බාධාවක්..වීරකුමාර කියයි

ඔක් 01, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් වී ඇත්තේ, පොහොට්ටුව ලාංජනය වෙනස් නොකිරීම බව එම පක්ෂය පවසයි.

    ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවසන් ස්ථාවරයකට එළඹීම සඳහා ඊයේ පැවති මධ්‍යම කාරක සභා හමුවෙන් අනතුරුව, මාධ්‍යයට අදහස් දක්වමින් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.

    මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ රාත්‍රී 8.00ට පමණ ආරම්භ වුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කොළඹ පැවති නිල නිවසේදී. පැය දෙක හමාරකට ආසන්න කාලයක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ස්ථාවරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා කර තිබේ. නමුත්, ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට එළඹීමට මධ්‍යම කාරක සභාවට නොහැකිවිය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දක්වන්නේ කුමන පාර්ශ්වයටද යන්න පිළිබඳව එළඹෙන 05වනදා අවසන් තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 11:03

    Latest News