හමුදා විශ්‍රාමයෙන් පසුත් ඵලදායි සේවයක්

නොවැ 26, 2018

    දැනුම, අවබෝධය, සහ අසීමිත අත්දැකීම් සමුදායක් සමඟ පරිපූර්ණ මිනිසෙකු ලෙස රටට සේවය කළ හැකි ජීවිතයේ හොඳම කාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශ‍්‍රාම ගැනීමේ ගැටලූවට විසදුමක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

    ඊට ත්‍රිවිධ හමුදාව තුළින්ම ඉදිරිපත්වන යෝජනා මගින් සුදුසු විසඳුම් ලබාදීමට සේනාධිනායකයා ලෙස සූදානම් යැයි ඔහු කියා සිටියේය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද අත්තිඩිය රීගල් ලේක්සයිඞ් හි පැවති ත්‍රිවිධ හමුදා බල ලත් නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ සම්මන්ත‍්‍රණයේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

    විශ‍්‍රාම ගිය පසු කුමක් කරන්නේ ද යන්න ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අද මුහුණ දී තිබෙන ගැටලූවක් බවත් එවැනි ගැටලූ සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීම දැනට වඩා අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය. දැනුම බෙදා හදා ගැනීම, ප‍්‍රශ්න හඳුනා ගැනීම, අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය සේවාවේ දී මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    ජනාධිපතිවරයා ලෙස මෙන්ම සේනාධිනායකයා ලෙස තමා තුළ ත්‍රිවිධ හමුදාව කෙරෙහි ඇත්තේ දැඩි ගෞරවයක් සහ විශ්වාසයක් බව ජනාධිපතිතුමා පෙන්වාදුනී. ජාතික ආරක්ෂාවේ දී මෙන්ම සංවර්ධනයේ දී සහ ජනතා සුබසාධන කටයුතුවල දී ත්‍රිවිධ හමුදාව ලබා දෙන සුවිශේෂී දායකත්වය ඇගැයීමට ලක් කළේය.

    අභියෝග හමුවේ ත්‍රිවිධ හමුදා බලලත් නිලධාරින්ගේ සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ වෘත්තිමය කාර්යභාරය, මැයෙන් මෙම සමුළුව සංවිධානය කර තිබුණි.

    නවීන තාක්ෂණය සමගින් වෘත්තීය නිපුනත්වයෙන් යුත් බලලත් නිලධාරින් හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් ලෙස ආයතන අභිවෘද්ධිය සඳහා නායකත්ව හැකියාවන් ගොඩනැගීම මෙහි අරමුණුවේ. හැකියාව මත පදනම් වූ හමුදාවක් ලෙස ක්‍රියා කිරීමට ඇවැසි පසුබිමක් ගොඩනගමින් ඔවුන්ගේ දැනුම වර්ධනය සහ අන්තර් සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාව සළසාදීමට පෙළගැස්වීම මෙම සම්මන්ත‍්‍රණයේ තවත් අරමුණක්වේ. ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් මේ වසරේ දී ප‍්‍රථම වතාවට සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණය ඉදිරියේ දී සෑම වසරකම පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

    Last modified on සදුදා, 26 නොවැම්බර් 2018 18:24

    Latest News