මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ ධිවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ඔක් 13, 2019

    නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම, පියර්ගම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 227.86 ක් ඊයේ (12) සොයා ගැනීමට සමත්ව ඇත.

    උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ මුර සංචාරයක් අතරතුරදී වෙරළ තීරයේ අතහැර දමා ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර තිබේ.

    එම යාත්‍රව පරික්‍ෂාවට ලක් කිරීමේදී එහි මළු 06 ක් තුල තිබී මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගැනීමට සමත්ව ඇති අතර, එහිදී පිටත දහන යන්ත්‍රයක් සහ ධිවර දැලක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. මෙම කූඩැල්ලන් තොගය නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැක කරන අතර, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙලෙස අතහැර පුද්ගලයින් පලා ගොස් ඇති බවට සැක පල කෙරේ.

    නාවික බාරයට ගත් මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට ක්‍රියා කර තිබේ.

    Latest News