රාත්‍රී ගිගුරුම් සහිත වැසි (වීඩියෝ)

ඔක් 14, 2019

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද රාත්‍රී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ සමඟ ගිගුරුම් සහිත වැසි හා පැයට කිලෝ මීටර 70ක පමණ සුළං ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල මිලිමීටර 75 සිට 100 දක්වා තද වර්ෂාපතනයක් හටගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි. කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ අපේක්‍ෂා කළ හැකියි. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගන්නා බව එම කාලගුණ නිවේදනයේ සඳහන්.

    අයහපත් කාලගුණය නිසා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, ඇල්ල, පස්සර යන ප්‍රදේශ සඳහා පූර්ව නාය අනතුරු නිවේදන නිකුත් කර තිබේ. ගල් පෙරළීම්, බිත්ති ඉරි තැලීම් හා නව දිය උල්පත් වැනි පූර්ව නායයාම් ලක්‍ෂණ කෙරෙහි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි. කඳුකර ප්‍රදේශවලට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ කලාඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. පුත්තලම-මන්නාරම මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශය අඩි 3ක් පමණ ජලයෙන් යටවිය. විකල්ප මාර්ග භාවිත කරන්නැයි අදාළ කළමණාකරණ මධ්‍යස්ථානයේ පුත්තලම ඒකකය පවසයි.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 20:04

    Latest News