ශ්‍රී ලංකාව “මුදල් විශුද්ධිකරණ හා ත්‍රස්තාවදී අරමුදල් අසාදු ලේඛනයෙන්” ඉවතට

ඔක් 19, 2019

    ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණ හා ත්‍රස්තවාදී අරමුදල් පිළිබඳ අන්තර්ජාතික අසාදු ලේඛනයෙන් ඉවත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සුභ පතමින් ප්‍රංශයේ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය මෙරට මූල්‍ය ආරක්‍ෂාව පිළිබඳ නව ක්‍රියාමාර්ග අගය කළේය. 1989 දී ස්ථාපනය කරනු ලැබූ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය ගෝලීය මූල්‍ය ආරක්‍ෂාව පිළිබඳ සුපරීක්‍ෂාකාරීවන අන්තර් ජාතික ආයතනයක්. එය අන්තර්ජාතික වශයෙන් අයහපත් මූල්‍ය ක්‍රියාකාරීත්වයක් සහිත රටවල් ඇතුලත් අසාදු ලේඛන 02ක් පවත්වාගෙන යනු ලබයි. ඒ, අළු පැහැති ලේඛනය හා කළු පැහැති ලේඛනයයි. ශ්‍රී ලංකාව ප්‍රථම වරට අළු පැහැති අසාදු ලේඛනයට ඇතුලත් කරනු ලැබුවේ, 2011 වසරේදී. 2012 වසර වනවිට එම ලේඛනයේ දී ශ්‍රී ලංකාව නම් කෙරුණේ, මූල්‍ය ආරක්‍ෂක සැලැස්මට කැපවීමක් නැති අනතුරුදායක රාජ්‍යයක් ලෙසටයි. 2016 වසරේ සිට ශ්‍රී ලංකා රජය මහ බැංකුව හා සෙසු මූල්‍ය ආයතන සමඟ එක්ව මෙරට මූල්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේදී ශ්‍රී ලංකාව සහයෝගය දක්වන රාජ්‍යයක් ලෙස නම් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ නම අසාදු ලේඛනයෙන් ඉවත් කෙරුණු බව, මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය අද නිවේදනය කළේය.

    අමාත්‍ය මංගල සමරවීර මහතා....

    “කෙටියෙන් කියනවානම් 2015 වසරේ ශ්‍රී ලංකාව පැවතුණේ, හරියටම දැඩි සත්කාර ඒකකයේ මරණාසන්නව සිටින රෝගියෙක් ලෙසටයි. අපි ඒ රෝගියාට සත්කාර කර ඇවිදීමට සැලැස්සුවා. දැන් මේ රෝගියා, ඉදිරියට දිවයාමට සූදානම්. ඒ වගේම, ශ්‍රී ලංකාව තවදුරටත් මුදල් විශුද්ධිකරණ හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමේ අසාදු ලේඛනයේ නැහැ. ශ්‍රී ලංකාවේ නාමය, එම ලේඛනයෙන් ඉවත් කිරීමේ පුවත අද උදේ ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි මූල්‍ය කාර්ය සාධන බලකාය විසින් අප වෙත දැනුම් දුන්නා“ යැයි මංගල සමරවීර මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 20:23

    Latest News