ලොව පුරා සිදුවන පරිසර විනාශය අද මිනිසා ප්රමුඛ සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය අහිමි කරමින් සිටින අතර එබැවින් දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ වගකීමට අංක 01 හිමිවන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. ජනාධිපති පාරිසරික සම්මාන උලෙළ 2019 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
පරිසර සංරක්ෂණය පිළිබඳ පුළුල් ලෙස මහජන සහභාගිත්වය ගොඩ නැංවීමත්, සිවිල් සමාජ සහයෝගය ඇති කිරීමත් අරමුණු කර ගනිමින් වාර්ෂිකව ජනාධිපති පාරිසරික සම්මාන උලෙළ සංවිධානය කෙරේ. පරිසර සංරක්ෂණ උද්යෝගය වඩවාලීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමි කර්මාන්ත හා ව්‍යාපාර සංස්කෘතියක් ඇති කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික ආයතන, කර්මාන්ත, ව්‍යාපාර, වෘත්තීය ආයතන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ විශිෂ්ට පාරිසරික සේවාවන් අගයමින් ක්ෂේත්‍ර 20ක් යටතේ මෙවර සම්මාන ප්රදානය කිරීම සිදු විය. රන් සම්මාන 12 ක් සහ ජාත්‍යන්තර සම්මානලාභීන් වෙනුවෙන් පාරිසරික සම්මාන 07 ක් පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති පාරිසරික සම්මාන උලෙළ අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2019.10.29 වන දින නෙළුම් පොකුණ රඟහලේ දී
2019 මේ වර්ෂයේ ජනාධිපති පරිසර සම්මාන උලෙළේ දී ඔබව හමුවීම පිළිබඳව. මා ඉතාමත් සතුටු වෙනවා විශේෂයෙන් ම අපේ රටේ පමණක් නොවෙයි, මුළු ලෝකය පුරා ම පරිසර සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු වී තිබෙන යුගයක්. කාලයක්. අද මේ ස්ථානයේ සම්මාන ලබා ගැනීමට පැමිණ සිටින, ඒවාගේ ම ආරාධිතව පැමිණ සිටින ඔබ සියලු දෙනා අතරේ පාසැල්, රෝහල්, පළාත් පාලන ආයතන, කර්මාන්ත විවිධ සංවර්ධන ව්‍යාපෘතිවල හිමිකරුවන් රාශියක් නියෝජනය වෙනවා. මේ කාලය ගත්තහම අපේ රටේ අද වර්ෂාව ආරම්භ වෙලා තිබෙන කාලයක්. බොහෝ වෙලාවට මද වර්ෂාවක් ගියත්, ඇතැම් අය පුරුදු වෙලා සිටිනවා කාලගුණය අයහපත් කියලා කියන්න.
වර්ෂාවක් ඇති වූ ගමන් අයහපත් කාලගුණය කියලා කියන එක කොතෙක් දුරට සාධාරණද කියලා කල්පනා කරන්න ඕනෑ. අයහපත් කාලගුණයක් කියලා අපි හඳුන්වන්නට ඕන වර්ෂාවෙන් ඇතිවන තත්ත්වය අනුවයි. මෑත දශක දෙක තුනක් ගත්තොත්, ඒ වගේ ම ගෙවී ගිය දශකය ගත්තොත් අපේ අත්දැකීම් තමයි, බස්නාහිර පළාත ප්‍රධාන වශයෙන් ම වර්ෂාවේ වැඩිකමක් පෙන්නුම් කරන බව. බස්නාහිර පළාතට ලැබෙන ජලය සියල්ලම ගලා යන්නේ මහ මුහුදට. පහුගිය මාසය වෙන තෙක් ලංකාවේ ප්‍රදේශ කිහිපයක වර්ෂාව තිබුණා. ඒ වගේම දිස්ත්‍රික්ක 12ක 14ක විතර නියඟය නිසා බොන්න වතුර රජය මඟින් බෙදා හැරීමට කටයුතු කළා. රටේ ප්‍රදේශ කිහිපයක අධික වර්ෂාව සමඟ ගං වතුරත්, තවත් ප්‍රදේශ ගණනාවක නියඟය සමඟ පානීය ජල හිඟයත් පැවතුණා.
මේ කරුණු විශේෂයෙන් ම අපි සැලකිල්ලට ගන්නට ඕනෑ. ලංකාවේ දුප්පත් කම වැඩිවීමට අදාළ සංඛ්‍යා ලේඛන තොරතුරු හා දත්ත සාකච්ඡාවට ගතහොත් යොමු කළ යුතු කාරණයක් තමයි කාලගුණික දේශගුණික විපර්යාස. අපේ රටේ වාගේම ලෝකයේ දූගී බව, දුප්පත්කම වැඩි වෙන්න ප්‍රධානතම හේතුව කාලගුණික දේශගුණික විපර්යාස. ගෝලීය උෂ්ණත්වයත් සමඟ ඇතිවන බරපතල තත්ත්වයක්. කාලගුණික දේශගුණික විපර්යාස නිසා ඇති වන නියඟය දුගීභාවය වේගයෙන් වර්ධනය වෙනවා. ඒ වාගේම සෞඛ්‍ය සම්පන්න බැවින් පිරිහුණු ජනතාවක් බිහි වෙනවා. අධික වර්ෂාවෙන් ද බලපෑම් සිදුවෙනවා. ඒ නිසා අපි සැළකිල්ලට ගන්නට ඕනේ මූලික වශයෙන් ම අපි කොහොම ද ස්වභාව ධර්මයාගේ අභියෝගයට මුහුණ දෙන්නේ කියලා.
මේ පිළිබඳ වගකීම විද්‍යාඥයින්ට, දේශපාලඥයින්ට, රාජ්‍ය පාලකයින්ට, රාජ්‍ය නිලධාරීන්ට ඒ සෑම කෙනෙකුටම පැවරෙනවා. පාසල්, රෝහල්, පළාත් පාලන ආයතන නියෝජනය කරමින් සම්මාන ගන්නට අද හැකිවී තිබෙන්නේ පරිසර සංරක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයකින් වැඩ කළ නිසා. මම ජපානයේ සංචාරයක යෙදීමට පෙර සතියේ එහි විශාල ගං වතුරක් ගලා ගිය බව ඔබ දන්නවා. නමුත් ඒ ගංවතුරත් එක්ක ජපානය එක පැත්තකින් අසතුටු වුණා පරිසරය විනාශ වීම නිසා ඇතිවුණු අයහපත් තත්වය නිසා. තවත් පැත්තකින් ඔවුන්ගේ වාර්තාවල සතුට ප්‍රකාශ කර තිබුණා අධික ගංවතුරත් සමඟ ගලා ගියේ පිරිසිදු වර්ෂා ජලය නිසා. කිසිම තැනක ඒ වතුරේ කසල නෑ. ඒ ජපානයේ තාක්ෂණයත් සමඟ විශේෂයෙන් ම පරිසර සංරක්ෂණය පිළිබඳව නීතිරිති ක්‍රියාත්මක වීම තුළ මොන තරම් විනයක් ඇති වෙලා තිබෙනවාද.
අපේ ජිවිත කාලය තුළත් මීට පෙරත් මහවැලි ගංගාව ගත් විට අපේ ශරීරයේ හෘදය, පෙණහැළි ගැලවී යනවා වාගේ තමයි මහවැලි ගඟ ගලා යන්නේ පැය විසිහතරම. දුඹුරු පාට ජලය සහ පස සෝදා යන ජලය. නමුත් අපිට තාක්ෂණය ඉතා වැදගත් වෙනවා පරිසර සංරක්ෂණයේ දී නව ක්‍රම උපයෝගී කිරීම සඳහා. ලෝකයේ විද්‍යාඥයින්ටත්, දේශපාලඥයින්ටත්, රාජ්‍ය පාලකයින්ටත් පරිසර සංරක්ෂණය පිළිබඳ අදහස් වඩාත්ම හිත් වලට කා වැදුනේ ගෙවී ගිය දශක දෙකක් වැනි කාලයේ දීයි. පරිසර විනාශයට බලපෑ ප්‍රධානතම හේතුව වෙන්නේ කාර්මීකරණයයි. මීට වසර 30කට 40කට පෙර පරිසරය පිළිබඳව බොහෝ අය කතා කළේ නැහැ. ගස් කපලා, කැලෑ කපලා, කර්මාන්ත ආරම්භ කරලා භෞතික සම්පත් සංවර්ධනයට බොහෝ රටවල් ප්‍රමුඛත්වය දුන්නා. නමුත් එහි ප්‍රතිඵලයක් විදියට සංවර්ධිත ඇතැම් රටවලට ඔක්ෂිජන් බෑගයක් කරේ දාගෙන යන තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා සංවර්ධනය කියලා කීමේ දී පරිසර සංරක්ෂණය ඉතාම වැදගත් වෙනවා.
අද පාසල් දරුවාගේ සිට සෑම කෙනෙකුටම පරිසර සංරක්ෂණය ගැන අවබෝධයක් තිබෙනවා. පාසල් තුළ, මාධ්‍ය තුළ, විද්වතුන්ගේ සාකච්ඡා තුළින් පරිසර සංරක්ෂණයේ වැදගත්කම කියා පානවා. ඡන්දය ඉල්ලන සියලු අපේක්ෂකයෝ වර්ෂයකට පැළ මිලියනයක්වත් හිටවනවා කියලා තම මැතිවරණ ප්රකාශනවල ඡන්ද දායකයින් සමග ගිවිසුම් අත්සන් කරන්න ඕනෑ කියලා ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් වූ අබ්දුල් කලාම් මැතිවරණවලදී කිව්වා.
මේ වෙලාව අපේ රටෙත් ඡන්දයක් පිළිබඳව උණුසුම තිබෙන වෙලාව. කිව්වද දන්නෙ නැහැ පරිසර සංරක්ෂණය පිළිබඳ දීලා තිබෙන ප්‍රතිඥා මොනවාද කියලා. ජනාධිපති අපේක්ෂකයිනුත් මූලික වශයෙන් මැතිවරණ ප්‍රකාශන තුළ තිබිය යුතු අංක එකේ ප්‍රමුඛතාවයක් තමයි පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් තමාගේ ප්‍රතිපත්තිය පැහැදිළි කිරීම. එය ඉතාම වැදගත්. සියලු ලෝක සත්වයාට එය වැදගත්.
ඔබට සම්මාන පුදන්නේ පරිසර සංරක්ෂණය පිළිබඳව ඔබ නියෝජනය කරන සියලු ක්ෂේත්රවල අධ්‍යාපන ද, සෞඛ්‍ය ද, පළාත් පාලන ද රාජ්‍ය සේවයේ අනෙකුත් ආයතන ද මේ සියලු දෙනාට අවබෝධයක් දෙන්නයි අවධානයක් දෙන්නයි. ලෝකයේ බොහෝ රටවල්වල නැති ස්වාභාවික සම්පත් තිබෙන අපේ මාතෘභූමිය අපි රැකගන්න ඕනෑ මිනිසා ප්රමුඛ සියලු සත්ත්වයා වෙනුවෙන්. එයට උනන්දුවක් මඟපෙන්වීමක් ඇති කරන්නයි මේ විදියට ජනාධිපති සම්මාන දෙන්නේ.
මේ කටයුතු සංවිධානය කළ සියලු දෙනාට මගේ ස්තූතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා.