ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සියල්ල ඉදිරියට..... පිටින් කිසිවක් නැහැ - ගෝඨාභය රාජපක්ෂ

නොවැ 05, 2019

    70% ක් වූ ග‍්‍රාමීය ජනතාව ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යෝජනා කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ගලගෙදර හතරලියැද්ද බස් නැවතුම්පොලේ අද පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා..........

    රට හදන සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පසුගිය විසිපස් වැනිදා අපි ඔබට ඉදිරිපත් කලා. ගෙවුනු වසර හතර තුළ රටේ විද්වතුන් වෘත්තිකයන් බුද්ධිමතුන් සියලූ දෙනා එකතුවෙලා රටේ තියෙන ප‍්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් වශයෙන් ඉදිරිපත් කරපු කරුණු සහ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ ඔබේ අදහස් ලබා ගනිමින් ඉදිරිපත් කළ ප‍්‍රායෝගික වැඩසටහනක් එහි සඳහන් වෙනවා. මේ හුදෙක් මැතිවරණ සඳහා දුන් පොරොන්දු පමණක් නෙවෙයි ක‍්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක්. මේ සියලූ දේවල් මගේ ධුර කාලය ඇතුළත අවසන් කරන බවට පොරොන්දු වෙනවා. අද සියයට තිස්තුනක් පමණ ජනතාව කෘෂිකර්මාන්තයේ නියැළෙනවා. අපේ සංස්කෘතිය ඉතිහාසය සමඟ බැඳුණු කෘෂිකර්මය වෙනුවෙන් ගොවි ජනතාව නඟා සිටුවීමටත්, වැවිලි කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය වැඩ පිළිවෙල මෙහි සඳහන් වෙනවා.

    ඒ වගේම 70% ක් වූ ග‍්‍රාමීය ජනතාව ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් අපි යෝජනා කර තිබෙනවා. ග‍්‍රාමීය යටිතල පහසුකම් දියුණු කිරීම, මාර්ග දියුණූ කිරිම, පිරිසිදු පානීය ජලය ලබාදීම ආදියට අපි ප‍්‍රමුඛතාවය දෙනවා. පිරිසිදු පානීය ජලය නොමැතිකම නිසා වකුගඩු රෝගය වැනි රෝග ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ අපි පිරිසිදු පානීය ජලය ලබාදීම සදහා විවිධ ක‍්‍රියාදාමයන් ක‍්‍රියාත්මක කළා. ඒ කාලයේ වගේම ජනතාවට පිරිසිදු පානිය ජලය ලබා දීමේ වැඩසටහන් අපි නැවතත් දියත් කරනවා.

    තමන්ගේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙනවාද යන්න ගැන වඩාත් සැලකිලිමත් සැලකිලිමත් වෙන්නේ කාන්තාවන්. අපි දීර්ඝකාලීන හා කෙටි කාලීන ගුණාත්මකභාවයෙන් යුතු අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කරනවා.  කාන්තා හිංසනය නතර කිරීම සඳහා අපේ අවධානය යොමු කරනවා. ගෙදර ජීවන වියදම වැඩි වුණාම වැඩියෙන් තැවෙන්නේ කාන්තාව. ආබාධිතයින්ට යා හැකි පහසුකම් ඇති කලේ මම නාගරික සංවර්ධන ලේකම් කාලයේයි. මේ අයටත් සාමාන්‍ය ජනතාවට තිබෙන වරප‍්‍රසාද තිබිය යුතුයි. ඔවුන්ට අධ්‍යාපනයේදී රැකියාවේදී ඡන්දය භාවිතා කිරීමේදී අයිතින් හිමිවිය යුතුයි. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වු ප‍්‍රඥප්ති තිබෙනවා. අපි ඒ ප‍්‍රඥප්ති ක්‍රීයාවට නංවනවා යැයි ඔහු පැවසිය.

     විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ මහතා...........

    ගලගෙදර ජනතාවට දේශපාලනය අලූතින් කියා දීමේ අවශ්‍යතාවයක් නැහැ. ගල ගෙදර ජනතාව පැහැදිලිව දර්ශනයක් වැඩපිළීවෙලක් සමග ඉන්න පිරිසක්. 2015දිත් ඔබ මගේ ජයග‍්‍රහණය බලාපොරොත්තු වුනා. ලොකු වෙනසක් කරනවා කියලා අපේ ආන්ඩුව පෙරලලා, මේ ආන්ඩුව බලයට පත්වෙලා කරපු ලොකු වෙනස කොහොමද? අපි දුප්පත් ජනතාවට වියලි ආහාර මල්ලක් දීමේ වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම දරුවන් මන්ද පෝෂණයෙන් බේරා ගැනීමේ වැඩපිළීවෙලක් දියත් කරනවා. එජාපයට පන්දම් අල්ලපු ජනතා විමුක්ති පෙරමුණ ගැන අපි කණගාටු වෙනවා. ඒ අයගේ ප‍්‍රතිපත්ති ගැන මම කණගාටු වෙනවා.  අපි කෙරේ විශ්වසය තියන්න. අපි ඉදිරිපත්කර තිබෙන වැඩපිළීවෙල අකුරටම ඉෂ්ට කරන බවට පොරොන්දු වෙනවා යැයි විපක්ෂ නායකවරයා පැවසිය.

     

     

     

    Latest News