හම්බන්තොට වරාය වසර 99කට බදුදීම වැරැද්දක්; එය යළි සලකා බැලිය යුතුයි - ජනපති (වීඩියෝ)

නොවැ 25, 2019

    ඉකුත් රජය හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇතිකරගත් බදු ගිවිසුම යළි සලකා බැලිය යුතු බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    හම්බන්තෙට වරාය අවුරුදු 99කට චීනයට බදු දීම වැරැද්දක් බවත් මේ පිළිබඳව චීනය සමග නැවත සාකච්ඡා කිරිමට සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඉන්දියාවේ භාරත් ශක්ති පුවත් සේවයේ නිටින් ගෝක්ලේ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරිමෙන් පසුව එක්වූ පළමු සාකච්ඡාව මෙයයි.

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ ජනාධිපතිතුමා...

    “අපි ස්වාධීනව සිටිනවා. මේක මම මගේ දිවුරුම් දීමේ අවස්ථාවේදීත් ප්‍රකාශ කළා. අපි ඉන්නේ ඉතාමත් වැදගත් සමුද්‍රීය ජලායක. මේ සමුද්‍රීය ජාලය නිදහස් විය යුතුයි. අපි කුඩා රටක්. අපිට එක් රටක් තෝරා ගැනීමෙන් ඉදිරියට යන්න බෑ. අපි ලෝක බලවතුන්ගේ සටන්වලට මැදිහත් වෙන්නේ නෑ.

    ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිම කටයුත්තකට අපි සම්බන්ධ වෙන්නේ නෑ. ඉන්දියාව ලොකු රටක්. අපි ස්වාධීන සෛවරී රාජ්‍යක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි. වැදගත්ම දේ ආර්ථික සංවර්ධනයයි. එය සීමිත කලාපයක සිට කරන්න බෑ. අපිට විවෘත වෙන්න සිදුවෙනවා.

    ඒකට අපි සූදානම්. අපිට ඉන්දියාවෙන්, චීනයෙන්, ජපානයේ සිංගප්පූරුවෙන් උදව් අවශ්‍යයි.

    මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී චීනය සමග සම්බන්ධතා පැවැත්වූයේ හුදෙක්ම වාණිජමය මුහුණුවරකින්. නමුත් ලෝක දේශපාලනය මේක ගැටලුවට දැම්මා. හම්බන්තොට වරාය පවා ඔවුන් ඒ ගැටලුවට ගත්තා.

    හම්බන්තොට වරාය අපිට අවශ්‍යයි. හම්බන්තෙට වරාය අවුරුදු 99ක බදු දීමට ගත් තීරණය වැරැද්දක්. අපි එය නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ගනුදෙනුවට ජනතාව සතුටු නෑ. අවුරුදු දෙකක්, තුනක් පහක් කමක් නෑ. අපි අනාගතය සිතන්න ඕන.”

    Latest News