ස්විස් තානාපති කාර්යාල නිලධාරිණිය පිළිබඳ තොරතුරු රැසක් (වීඩියෝ)

දෙසැ 03, 2019

    පැහැර ගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන තෙක් දෙසැම්බර් 09 වැනිදා දක්වා විදේශ ගතවීම තහනම් කර තිබේ.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද මේ නියෝගය නිකුත් කළේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින්. තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති එම නිලධාරිණියට ලබන 09 වැනිදාට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ, අදාළ නිලධාරිනිය පැහැර ගෙන ගිය බවට ස්විට්සර්ලන්ත තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පොලිස්පතිවරයා වෙත යොමු කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි. තානාපති කාර්යාලයේ වීසා අංශයේ සේවයේ නියුතු එම නිලධාරිනිය කිසියම් පිරිසක් විසින් ඉකුත් 25 වැනි දින සිදු පැහැති මෝටර් රථයකින් පැහැර ගෙන ගොස් දැනට විදේශ ගතව සිටින පොලිස් පරීක්‍ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා කන්දප්පා හට වීසා ලබාදීම සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බව ද නීතිඥවරයා ප්‍රකාශ කළේය.

    ඒ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට ගොස් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සහ කළ ද ඇය ගැන තොරතුරු හෙළි කිරීම තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළ බව රජයේ නීතිඥවරයා දන්වා සිටියේය. ඇයගේ නිවස පරීක්‍ෂා කිරීමේදී එහි ද කිසිවෙකු නොවූ අතර, සැමියා රාජකාරී කරන පෞද්ගලික බැංකුවට ගොස් පරීක්‍ෂා කිරීමේදී ඔහු ද සේවයට වාර්තා කර නොමැති බව හෙළිවිනැයි, අධිකරණය හමුවේ අනාවරණය කෙරිණ. නීතිඥවරයා පෙන්වා දුන්නේ, තානාපති කාර්යාල නිලධාරිණියක පැහැර ගෙන යාම බරපතල සිද්ධියක් බැවින්, මේ පිළිබඳ සත්‍ය හෙළි කර ගැනීම සඳහා ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම අත්‍යවශ්‍ය බවයි.

    යම් ලෙසකින් ඇය විදේශ ගතවුවහොත්, සත්‍ය හෙළිකර ගැනීමේ අවස්ථාව අහිමිවන අතරම, රටට විශාල කැළලක් ඇති වන බව ද, නීතිඥවරයා පෙන්වා දුන්නේය. මෙය පුද්ගල බද්ධ කරුණක් නොව, සමස්ත රටටම බලපාන කරුණක් බව ප්‍රකාශ කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා, අදාළ නිලධාරිනිය විදේශගතවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම කාන්තාවගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය බව පැවසුවාය. එතෙක්, දෙසැම්බර් 09 වැනිදා දක්වා අධිකරණයේ අවසරයකින් තොරව, එම නිලධාරිණියට විදේශ ගතවීම තහනම් කරන බව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මෙය පූර්ණ විදේශ ගමන් තහනමක් නොවන බව ද සඳහන් කෙරිණ. එම නියෝගය පිලිබඳ ආගමන හා විගමන පාලකවරයා දැනුව්ත් කරන ලෙසත්, පරීක්‍ෂණවල ප්‍රගතිය ලබන 09 වැනි දින වාර්තා කරන ලෙසත්, මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

    මේ අතර, අදාළ නිලධාරිණිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් තොරතුරු මත සිදු කළ විමර්ශනයේ දී තවත් කරුණු රැසක් හෙළි වී තිබේ. ඇය පැහැරගත් බව කියන කාලය තුළ බම්බලපිටිය ප්‍රදේශයේ නිවසක පැය දෙකක් පමණ රැඳී සිටි බව, එම කරුණු අතර සඳහන්. එම කාන්තාව, කුලී රථ සේවාවක් යටතේ ලබාගත් මෝටර් රථයකින් බම්බලපිටිය ප්‍රදේශයට ගොස් ඇති බව හෙළි වී ඇත. එහෙත්, තානාපති කාර්යාලය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් තොරතුරුවලින් දන්වා ඇත්තේ, කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ කාන්තා පාසලක පැවති දෙමාපිය රැස්වීමක් අවසන් වී පැමිණෙමින් සිටියදී ඇය පැහැර ගැනීමට ලක්වී ඇති බවයි. එම තොරතුරු ද ඇතුළු විවිධ කරුණුවල පවතින පරස්පරතා පිළිබඳව විදේශ සබඳතා අමාත්‍යාංශය, ඊයේ නිවේදනයක් ද නිකුත් කර තිබිණ.ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට සහභාගිවීමට තමා වීසා අයදුම් කළ ද එය ප්‍රතික්ෂේප වූ බව, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවසූහ.

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 20:25

    Latest News