සුළු අපනයන බෝග ප්‍රතිඅපනයනය තහනම්

දෙසැ 06, 2019

    සුළු අපනයන භෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ හා දිරිමත් කිරීමට භාණ්ඩ කිහිපයක ආනයනය සීමා කිරීමට තිරණය කර තිබේ.

    මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝග මත ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර ඇත.

    ඒ අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු සහ කරාබු නැටි ආනයනය තහනම් කර ඇතැයි මුදල් අමාතයංශය පවසයි. මුදල් පනතේ වාණිජ කේන්ද්‍රස්ථාන නියෝග අනුව ඍජු ප්‍රතිඅපනයන හා සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් සිදු කෙරෙන කුළුබඩු ආනයනය තහනම් වේ. දිස්ත්‍රික්ක 9ක පමණ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මින් ප්‍රතිලාභ හිමි වනු ඇත.

    ආනයන අපනයන පාලන පනතේ රෙගුලාසි අනුව නිකුත් කර ඇති දෙවැනි ගැසට් නිවේදනයෙන් දේශීය වශයෙන් ගුණාත්මක බවින් ඉහළ හා තරගකාරී ගෘහ කර්මාන්ත වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරීමට පියවර ගෙන තිබේ.

    කසළ හා කසළ පිරිසැකසුම් මෙන්ම ප්‍රතිචක්‍රීකරණයට අදාළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා ද අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යංශය පවසයි. එමගින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ දේශීය අමුද්‍රව්‍ය සමග තත්ත්වයෙන් පහළ ආනයනික අමුද්‍රව්‍ය කලවම් කර ප්‍රතිඅපනයනය කිරීම වැළකෙනු ඇති.

    ප්‍රමිතියකින් තොරව සිදු කෙරෙන ප්‍රතිඅපනයන හේතුවෙන් අපනයන සන්නාමයක් වශයෙන් ශ්‍රී ලංකාවට ඇති කීර්ති නාමයට සිදු වන හානිය වළක්වා ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යවරයා වශයෙන් මෙම පියවර ගෙන තිබේ.

    Last modified on සිකුරාදා, 06 දෙසැම්බර් 2019 18:47

    Latest News