ඩෙංගු මදුරුවන්ට මාරාන්තික “වෝල්බැකියා” (වීඩියෝ)

දෙසැ 08, 2019

    ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා “වෝල්බැකියා” නමින් නව බැක්ටීරියාවක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    මෙය ඔස්ට්‍රේලියාවේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූවකි. වසර ගණනාවක රසායනාගාර පරීක්ෂණ හා ක්ෂේත්‍ර අත්හදා බැලීමෙන් පසුවයි මෙම බැක්ටීරියාව හඳුන්වා දී ඇත්තේ. ලබන පෙබරවාරි මාසයේදී නුගේගොඩ සහ කොළඹ කේන්ද්‍ර කර මෙම බැක්ටීරියාව යොදාගෙන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම කරුණු අනාවරණය වූයේ කොළඹ ඊයේ(07) පැවති මාධ්‍ය හමුවකදී ය.

    ලෝක ජනගහණයෙන් 40%කට බලපාන රෝගී තත්වයක් ලෙස, ඩෙංගු හැඳින්විය හැකියි. මෙරට පළමු ඩෙංගු රෝගියා හමුවන්නේ, 1962 දී. ශ්‍රී ලංකාව පළමු ඩෙංගු වසන්ගතයට මුහුණ දෙන්නේ 1956-1968 අතර කාලයේ. මෙය දරුණු රෝගී තත්වයක් බවට පත්වන්නේ, 1989දී. මේ වසරේ දෙසැම්බර් මස 04 වැනිදා වනවිට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,795ක්. ලොව බොහොමයක් රටවල් මුහුණ දෙන දරුණු වසංගත තත්වයක් වන මේ සඳහා “වොල්බැකියා“ බැක්ටීරියාව හඳුන්වාදීම කාලෝචිත බව ලෝක මදුරු මර්දන වැඩසටහන පෙන්වා දෙනවා.


    “වොල්බැකියා“ බැක්ටීරියාව රැගෙන යන මදුරුවන් මුදාහරින ලද ලොව පළමු රට වන්නේ ඔස්ට්‍රේලියාවයි. එම ව්‍යාපෘතියට වසර 8ක් ගතව ඇතත්, මෙතෙක් කිසිදු ඩෙංගු රෝගියෙක් වාර්තා වී නැහැ.


    බ්‍රසීලය, කොලොම්බියාව, ඉන්දුනීසියාව, පැසිෆික් දූපත්, වියට්නාමය, ඉන්දියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් 12ක මෙම ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක වේ.
    “වොල්බැකියා“ බැක්ටීරියාව සහිත මදුරුවන් පරිසරයේ අනෙකුත් මදුරුවන් සමඟ එකතුවීමෙන්, මෙම මදුරු ගහනය වැඩිවිය හැකි බවට අනුමාන කෙරේ. ඉන් ඩෙංගු රෝගය ඇතුළු ඊඩිස් ඊජිප්ටයි මදුරුවන්ගෙන් බෝවන රෝග බොහොමයක් පාලනය කිරීමට හැකි බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

     

    මේ යටතේ, කෙරෙන්නේ “වොල්බැකියා“ බැක්ටීරියාව අඩංගු මදුරු බිත්තර හා ඔවුන්ට අවශ්‍ය ආහාර සහිත කැප්සියුලයක් සෑම නිවසකටම ලබාදීමයි. එය ජලය පිරවූ බදුනකට දමා හොඳින් වසා, සති දෙකක කාලයක් එළිමහනේ තැබීමෙන් එම මදුරුවන් බෝකර ගත හැක.


    ලෝක මදුරු වැඩසටහනේ ඉලක්කය වන්නේ, වසර 2023 වනවිට ලොව පුරා මිලියන 100ක ජනතාවක් වෙත මෙම ව්‍යාපෘතිය සාර්ථකව ගෙන යාමයි.

    Latest News