අලුත්ගමගේට රටයන්න අවසර

දෙසැ 16, 2019

    රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට ගමන් කිරීම සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කරන මෙන් කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළේය.

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය මගින් කැරම්බෝඩ් 14000ක් හා සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට රුපියල් කෝටි 5 කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද කැඳවනු ලැබීය.
    ආර්.ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබීය.
    එහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට මේ මස 26 වනදා තෙක් සිංගප්පූරුවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින් දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම අදාළ කාල සීමාව තුළ ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියේය.
    එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකාර අමාත්‍යවරයාට දැනට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අදාළ කාල සීමාව සඳහා තාවකාලිකව ඉවත් කිරීමට නියම කළේය.
    මෙම නඩුවේ තවත් විත්තිකරුවකු ලෙස නම් කර සිටින නලින් ප්‍රනාන්දු මහතාට ද විදේශ ගතවීමට අවශ්‍ය ඇති වෙන බවට ඔහුගේ නීතිඥවරු කළ දැනුම්දීම පිළිගත් අධිකරණය ඔහුට ලබන ලබන 25 වන දා සිට ජනවාරි මස 01 වනදා තෙක් විදේශගත කිරීමට ද අවසර ලබාදුන්නේය.
    මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එය ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් විත්තියේ නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කරන ලදී.
    එම මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජනවාරි මස 31 දා ප්‍රකාශයට පත් කරන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරනු ලැබීය.
     
    2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ ආයතනය හරහා දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් බෙදාහැරීම සඳහා කැරම්බෝඩ් 14000ක්  සහ දාම් 11000 ක් ආනයනය කර බෙදාහැරීම තුළින් රජයට රුපියල් කෝටි පහකට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
     
    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 12:30

    Latest News