නීතිය හැමෝටම අපක්ෂපාතී වියයුතුයි..ඩබ්ලිව්. ඩී.ජේ.සෙනෙවිරත්න

දෙසැ 19, 2019

    නීතිය සෑම දෙනාටම අපක්ෂපාතී වියයුතු බවත් වංචා, දූෂණ සහ අපරාධ අවම කර ගැනීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට රජය පසුබට නොවන බවත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ සවස (18) පැල්මඩුල්ල, ගොඩගම ප්‍රදේශයේ පසුගියදා පැවති පාක්ෂික හමුවකට එක්වෙමින්.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    රජයක පළමු කාර්ය භාරය විය යුත්තේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමයි. යම් රජයක වලංගු භාවය පරීක්ෂා කළ හැක්කේ ඔවුන්ට නීතිය හා සාමය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවාද කියන කරුණ මතයි. නීතියේ ආධිපත්‍ය තුළ සිවිල් අධිකරණවලදී නීතිය සෑම දෙනාටම අපක්ෂපාතී වියයුතුයි. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට සහ ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් රජය කැප වනවා. නීතිය යොදා ගනිමින් දේශපාලන පළිගැනීම් සිදුකිරිමට වත්මන් රජය කිසිසේත් කටයුතු කරන්න සූදානම් නැහැ. අපරාධ තවදුරටත් අවම කර ගන්න ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නත් අපි පසුබට වෙන්නේ නැහැ”

    දේශීය ආර්ථිකය පසුගිය කාලයේ යම් පරිහානියට පත්වී තිබුණා. ව්‍යාපාර බිඳවැටී ව්‍යාපාරිකයන් මානසිකවත් ආර්ථික වශයෙනුත් දුර්වල වෙලා සිටියේ. සෑම දේකටම බදු අයකරමින් ව්‍යාපාරිකයින් පීඩාවට පත්වී සිටියා. ඒ නිසා වෙළෙඳාමක් සිදුවුණේ නැහැ. ආර්ථිකය එකතැන පල් වුණා. මුදල් සංසරණයක් සිදුවුණේ නැහැ. ගනු දෙනු සිදු වුණේ නැහැ. මෙය වැළැක්වීමට නම් කළ යුත්තේ ව්‍යාපාර පුනර්ජීවනයක් ඇති කිරීමට උත්තේජනයක් ලබාදීමයි. අති විශාල ජනවරමකින් බලයට පත් වත්මන් ජනාධිපතිතුමා පළමු කැබිනට් රැස්වීමේදීම බදු සහන ලබා දීමට කටයුතු කලේ ඒ නිසයි.

    මේ සහන නිසා පුණ්‍ය ආයතනවලට, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, ළමා ඉතිරිකිරීම් වලට පමණක් නෙවෙයි සියලු දෙනාටම සහන හිමි වෙමින් තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයින්ට බදු වශයෙන් ගෙවීමට තිබූ මුදල් ඉතිරි වෙනවා. ඒ තුළින් ඔවුන් නව ආයෝජන කිරීමට නැතිනම් ඉතුරු කිරීම් කිරීමට පෙලඹෙනවා. සමහර විට පරිභෝජන පැත්ත ඉහළ යන්නත් පුළුවන්. මේ සියලු දේ හරහා රටේ ආර්ථිකය පණ ගැන්වීමක් සිදු වෙනවා. රජයට ආදායම් අහිමිවීමක් මේ සහන ලබාදීම තුළ සිදු වන බවට ඇතැමෙකුට කියන්න පුළුවන්. නමුත් ආදායම් ලැබුණා කියා ආර්ථිකය ඉදිරියට යෑමක් සිදුවන්නේ නැත්නම් ඉන් ඇති පළක් නැහැ. කුළුබඩු ආනයනය කිරීම නැවැත්වීමත්, බදු සහන ලබා දීමත් සමග අද වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව නැවත තේ, රබර්, ගම්මිරිස් නිෂ්පාදන වැඩි කර ගන්න උනන්දු වෙමින් තිබෙනවා. ඉතා පහළ මිලක පැවති කුළුබඩු මිලදී ගැනීමේ මිල මේ වන විට ඉහළ යමින් පවතිනවා.

    වත්මන් රජය යටතේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන් එක් ග්‍රාමසේවා වසමක් සදහා රුපියල් මිලියන දෙක බැගින් සියළු ග්‍රාමසේවා වසම් වෙත ලබා දිමට කටයුතු යොදා තිබෙනවා.

    ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට තමන්ගේ ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තවත් රුපියල් මිලියන 20ක් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ග්‍රාමීය ජනතාව නගා සිටුවීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සදහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 14:31

    Latest News