නුවර - කොළඹ මාර්ගය භාවිත කරන්නන්ට ‍විකල්ප මාර්ග

දෙසැ 20, 2019

    නව කැලණි පාලමෙන් අධිවේගී මාර්ගයට සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් හේතුවෙන් නුවර - කොළඹ මාර්ගයේ ධාවනය වන රථවාහන ලබන වසරේ ජනවාරි 20 වැනිදා තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස වරාය නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීම් කරයි.

    ඒ අනුව සැහැල්ලු රථවාහන සහ බස් රථ සඳහා නුවර පාරේ වෙදමුල්ල වටරවුමෙන් දකුණට හැරී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ නව කැලණි පාලම භාවිත කරමින් බේස්ලයින් මාර්ගය භාවිත කර, දෙමටගොඩ හා බොරැල්ල ආදී ප්‍රදේශවලට ගමන් පහසුකම් සලසා ගත හැකි බව එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    එමෙන්ම බරවාහන ලොරි රථ සහ කන්ටේනර් රථ කඩවත අන්තර් හුවමාරුව භාවිත කර කෙරවලපිටිය දක්වා පැමිණ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයෙන් පෑලියගොඩින් දකුණට දමා පෑලියගොඩ - පුත්තලම මාර්ගය ඔස්සේ නවලෝක වටරවුමෙන් දකුණට දමා ජපන් මිත්‍රත්ව පාලම හරහා කොළඹ වරාය පිවිසුම් මාර්ගයට හා සුගතදාස ක්‍රීඩාංගණ මාර්ගය ඔස්සේ කොළඹ කොටුව ප්‍රදේශවලට ප්‍රවේශ වන ලෙසද එම අමාත්‍යාංශය දන්වා තිබේ.

    මීට අමතරව අධිවේගී මාර්ගය භාවිත කිරීමට නොහැකි සියලු රථවාහන මහර හා කිරිබත්ගොඩ ආදී ප්‍රදේශ වලින් වත්තල හරහා කොළඹ - පුත්තලම මාර්ගයට ප්‍රවේශ වී, ජපන් මිත්‍රත්ව පාලම භාවිත කර කොළඹ ප්‍රදේශයට ප්‍රවේශ වන ලෙසද වරාය නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

    එමෙන්ම කිරිබත්ගොඩ ප්‍රදේශය පසුකර පැමිණෙන වාහන වෙදමුල්ල වටරවුමෙන් දකුණට දමා කොළඹ - කටුනායක අධිවේගී මාර්ග ප්‍රවේශය හරහා පුත්තලම - කොළඹ මාර්ගයට දමා, කොළඹ ප්‍රදේශයට පිවිසිය හැකි බවද අදාළ මාධ්‍ය නිවේදනයේ පෙන්වාදී තිබේ.

    කැලණි පාලම් ඉදිරිකිරීම් කටයුතුවල, නව පාලමක් කොළඹ -කටුනායක අධිවේගී මාර්ගයත් සම්බන්ධ වන පාලම් කොටසක් සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දිශාවට දිවෙන රථවාහන සඳහා එක් මංතීරුවක් පමණක් විවෘතව තිබෙන අතර, අනෙක් මංතීරුව තාවකාලිකව වසා තිබෙන නිසා මෙම විකල්ප මාර්ග භාවිතයට ගැනීමට සිදුව ඇත.

    Last modified on සිකුරාදා, 20 දෙසැම්බර් 2019 12:10

    Latest News