බදුල්ල, බණ්ඩාරවෙල මාර්ගයේ දෙමෝදර ගිලාබැසීම් අවධානමක්: වාහන ගමන එක් මං තීරුවකින්

දෙසැ 30, 2019

    බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර හංදියට නුදුරු ප්‍රදේශයේ ගිලාබැසීම් තත්ත්වයක් හේතුවෙන් මාර්ගයේ එක් මං තීරුවක මීටර් 50 ක පමණ කොටසක් වසා දමා තිබේ.

    මේ හේතුවෙන් එම ස්ථානයේ වාහන ගමනා ගමනය එක් මංතීරුවකට පමණක් සිමාවි ඇත.

    මාර්ගය ගිලා බැසීමට ලක් වූ ස්ථානයේ ඇති පැති බැම්මේ ද පිපුරුම් කීපයක් දක්නට ඇති අතර එම ස්ථානයේ පිහිටි වේල්ලේ අඩි 10 ක පමණ කොටසක් පහලින් පිහිටි බදුලුඔය දක්වා නාය ගොස් ඇති බව දක්නට ඇතැයි අප වාර්තාකරු පවසයි.

    මෙම ස්ථානය සහ ඊට ආසන්න පැති බැම්ම අලුත්වැඩියා නොකළහොත් නායයෑමක් සිදු වී ඇතැම්විට මාර්ගය දින ගණනාවක් වසා දමන්නට සිදුවිය හැකි යැයි ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා පැවැසීය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ පැවසීය. “දෙමෝදර මෙම ස්ථානයේ පමණක් නෙවෙයි බදුල්ල-බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ උඩුවර, දෙමෝදර, දික්අරාව ආදී ප්‍රදේශ කිහිපයකම මෙවැනි ගිලා බැසීම් හා නාය යාමේ අවදානම් ස්ථාන කිහිපයක්ම මේ වන විට දැකගන්නට ලැබෙනවා. මෙම ස්ථාන වලින් වාහන ගමනාගමනය කිරීම ඉතාම අනතුරුදායක මට්ටමකයි පවතින්නේ. අපි මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත දැනටමත් දැනුම් දී තිබෙනවා. ඇත්තෙන්ම මෙම කොටස් අලුත්වැඩියා කිරීම හෝ ගිලා බැසීමේ අවදානම තිබෙන ස්ථාන සකස් කිරීමේ වගකීම් පැවරී තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියටයි. මෙම ස්ථානවලට කඩිනම් පිලියම් නොයෙදුවහොත් ඉදිරියේදී විශාල අනතුරුක් සිදුවීමේ ඉඩකඩක් ඇති බව“ ඔහු කියා සිටි.

    Latest News