එක්දින ක්‍රිකට් තරගයේ කඩුල්ලක ජය ශ්‍රී ලංකාවට

පෙබ 22, 2020

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.

    ඒ, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී. ඕනෑම කණ්ඩායමක් ජාත්‍යන්තර එක්දින තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයගත් තරගය ලෙස වාර්තාවක් ද පිහිටුවමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 289ක් රැස් කළා. වැඩිම ලකුණුලාභියා වූ ෂායි හෝප් තම එක්දින ක්‍රිකට් දිවියේ 9 වැනි ශතකය වාර්තා කරමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 115ක්. රොස්ටන් වේස් ලකුණු 41ක් සහ ඩැරන් බ්‍රාවෝ ලකුණු 39ක් රැස් කළා. පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 3ක් බිඳහෙලුවා.

    පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, අවිශ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 111ක සබඳතාවක් ගොඩනැඟුවා. දිමුත් කරුණාරත්න ලකුණු 52යි, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50යි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 42ක් රැස් කළා. ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, පන්දුවාර 49යි පන්දුවක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 290ක් රැස් කරමින්. වනිඳු හසරංග පන්දු 39කදී නොදැවී ලකුණු 42ක් රැස් කළා. තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වුණා.

    Latest News