ආසියාවේ රටවල් 43කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700කට ආසන්න පිරිසක් සහභාගීවන මෙම ශූරතාවලියේදී ඉසව් 43ක් වෙනුවෙන් පදක්කම් 186ක් ප්‍රධානය කෙරේ. දෝහා හී මේ දිනවල සෙල්සියස් අංශක 32ක පමණ උෂ්ණත්වයක් ඇති හෙයින් කලීෆා ක්‍රීඩාංගණය තුල සවිකර ඇති පරිසරය සිසිල් කරන වායුසමීකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. එමගින් මලල ක්‍රීඩාවට යෝග්‍ය සෙල්සියස් අංශක 24ක පමණ උෂ්ණත්වයක් ක්‍රීඩාංගණය තුල විචලනයකින් තොරව රදවා තබා ගැනීම අපේක්ෂාවවී තිබේ.
පළමු දිනයවන අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7ක් තරග බිමට පිවිසෙන අතර මීටර් 800 කාන්තා පළමු වටයේ තරගයට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායිකා නිමාලී ලියනාරච්චි මුලින්ම සහභාගී වේ. ඇය සමග එම ඉසව්වට ගයන්තිකා අඹේරත්න සහභාගී වන අතර මීටර් 800 පිරිමි මූලික වටයේ තරගයට රුසිරු චතුරංග එක්වේ.
අවසන්වරට ඉන්දියාවේ බුබනේස්වර් ක්‍රීඩාංගණයේ පැවැති 22වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ඉසව්වෙන් නිමාලී ලියනාරච්චි රන් පදක්කමක් හා ගයන්තිකා අඹේරත්න රිදී පදක්කමක් දිනා ඇති හෙයින් මේ දෙදෙනා කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතී.
තුම් පිම්ම පිරිමි සුදුසුකම් ලැබීමේ තරගයට ග්‍රේෂන් ධනංජය එක්වන අතර ඔහු පසුගියදා කොළඹ සුගතදාස පිටියේ පැවැති තේරීම් තරගයේදී මීටර් 16. 71කින් ශ්‍රී ලංකා වාර්තාව බිහි කළේය. මීටර් 400 පිරිමි හා කාන්තා මූලික වටයේ තරගවලට අජිත් ප්‍රේමකුමාර හා නදීෂා රාමනායක සහභාගී වෙති. ඔවුන් දක්වන දස්කම් අනුව අද දිනයේම පැවැත්වෙන මීටර් 400 පිරිමි අවසන් පූර්ව තරගයට හා මීටර් 400 කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කොට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙයට සති දෙකකට පෙර පැවැති තේරීම් තරගයේදී මීටර් 100 පිරිමි ඉසව්ව තත්. 10. 22කින් නිමකොට නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට සමත්වූ හිමාෂ ඒෂාන් එම සුපුරුදු ඉසව්වේ මූලික වටයේ තරගයට එක්වීම විශේෂත්වයකි.
මෙම මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිල මෙයට දින තුනකට පෙර දෝහා වෙත පැමිණි අතර ඊයේ කලීෆා ක්‍රීඩාංගණයේ අවසන් පුහුණු සැසියට එක්විය. එහිදී මලල ක්‍රීඩා පුහුණුකරු සජිත් ජයලාල් මහතා පැවැසූවේ ශ්‍රී ලංකාවේදී වාර්තා කළ දස්කම් මෙම තරගාවලියේදී වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුවහොත් පදක්කම් 5ක් දිනා ගැනීම අපහසු නොවන බවයි. “ හැමදාම අපට වෙන දෙයක් තමයි තේරීම් තරගවලදී පෙන්වන දක්ෂතා විදෙස්ගතවී පැවැත්වෙන ජාත්‍යන්තර තරගයකදී දකින්න නොළැඹීම. ඒ දුර්වලතාව මඟ හරවාගෙන හොද මානසිකත්වයකින් මේ තරගයට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිවිසියහොත් පදක්කම් දිනා ගැනීම අභියෝගයක් නොවෙයි“ ජයලාල් මහතා පැවැසීය.
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් රන් පදක්කම් 19ක් රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 19ක් දිනා ඇත. නිමාවූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි 22කදී චීනය රන් පදක්කම් 308ක් රිදී පදක්කම් 206ක් හා ලෝකඩ පදක්කම් 113ක් දිනා ඇති අතර ජපානය රන් පදක්කම් 151ක් රිදී පදක්කම් 191ක් හා ලෝකඩ පදක්කම් 212ක් දිනා දෙවැනි තැන සිටී.
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවී සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මෙසේය:
පිරිමි
හිමාෂ ඒෂාන් (මීටර් 100 පිරිමි), ග්‍රේෂන් ධනංජය (තුම් පිම්ම පිරිමි), සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම පිරිමි), ධනුෂ්ක සදරුවන් පියරත්න (දුර පැනීම පිරිමි), ජනක විමලසිරි (දුර පැනීම පිරිමි), අජිත් ප්‍රේමකුමාර ( මීටර් 400 පිරිමි), රුසිරු චතුරංග ( මීටර් 800 පිරිමි)
කාන්තා
නිමාලී ලියනාරච්චි (මීටර් 800 කාන්තා හා මීටර් 400 සහාය දිවීම කාන්තා), ගයන්තිකා අඹේරත්න (මීටර් 800 කාන්තා), නිලානී රත්නායක (මීටර් 3000 බාධක දිවීම කාන්තා), නදීෂා රාමනායක (මීටර් 400 කාන්තා, මීටර් 400 සහාය දිවීම කාන්තා), විදූෂා ලක්ෂාණී (තුම්පිම්ම කාන්තා), උපමාලිකා රත්නකුමාරී (මීටර් 400 සහාය දිවීම කාන්තා), දිල්ෂි කුමාරසිංහ (මීටර් 400 සහාය දිවීම කාන්තා)