පකිස්තානයට ලකුණු 298ක ඉලක්කයක් - ධනුෂ්ක ගුණතිලක 133යි

ඔක් 02, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක තම එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට අද සමත්විය.

    ඒ පකිස්තානයට එරෙහිව දැන් පැවැත්වෙන එක්දින තරගයේදී. ශ්‍රී ලංකා පකිස්තාන තුන්වැනි එක්දින තරගය පැවැත්වෙන්නේ කරච්චි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු. අවිශ්ක ලකුණු 4කට දැවී ගිය අතර, නායක ලහිරු තිරිමාන්න ලකුණු 36යි. ඇන්ජලෝ පෙරේරා ලකුණු 13කට දැවී ගියේය. තම පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන මිනෝද් භානුක ලබාගත් ලකුණු සංඛ්‍යාව 36ක්. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ධනුෂ්ක ගුණතිලක තම දෙවැනි එක්දින ශතකය වාර්තා කළේ පන්දු 134කට මුහුණ දී ලකුණු 133ක් ලබාගනිමින්. ඊට හතරේ පහර 16ක් සහ හයේ පහරක් ඇතුළත් විය. දසුන් ශානක වේගවත් ලකුණු 43ක් ලබාගැනිමට සමත්විය.

    ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 297ක්. පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් ලකුණු 50කට කඩුලු 3යි. පාකිස්තානයට තරගය ජයගැනීම සඳහා හිමිව තිබෙන ඉලක්කය ලකුණු 298ක්. තරගය රූපවාහිනි අයි නාලිකාව ඔස්සේ සජිව ලෙස විකාශය කෙරේ.

    Latest News