කොරෝනා වෛරස් තර්ජනය හමුවේ ජාතික මැතිවරණයකට යොමු වන ප්‍රථම රට දකුණු කොරියාවයි. ලොව වෙනත් රටවල් තම සියළු කටයුතු කල් දමද්දී දකුණු කොරියාව ජාතික මැතිවරණයකට යොමු වීමට ඉඩකඩ සලසා ගත්තේ කෙසේද? මේ ඒ පිළිබඳ විමසා බැලීමක්.
දකුණු කොරියාව, මුල් අවස්ථාවේදී චීනයට පසු කොරෝනා වෛරස් තර්ජනයට දරුණු ලෙස මුහුණ දුන් දෙවන රට බවට පත්විය. එහෙත් වර්තමානය වනවිට ආසාදිත සංඛ්‍යාව ගත් කළ දකුණු කොරියාව පසුවන්නේ 19 වන ස්ථානයේ. එරට අනුගමනය කළ විධිමත් සෞඛ්‍ය ක්රියාදාමයයි. මුල් පෙළේ රටවල් මුඛ ආවරණ හිඟයකින් පෙළෙද්දී දකුණු කොරියාව දිනකට මුණ ආවරණ තුන් ලක්ෂයක් පමණ නිෂ්පාදනය කලේය. තවද දකුණු කොරියානු බලධාරින් රෝගය වඩාත් දරුණු ලෙස ව්‍යාප්ත වූ තේගු පළාත ඇතුළු ප්‍රදේශවල සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය සාර්ථකව ඉටු කිරීමට සමත්වූහ. රෝග පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන්නන්ට එරෙහිව සිර දඬුවම් ලබාදීමේ නව නීති හඳුන්වාදීමට ඔවුන් පියවර ගත්තේය. දකුණු කොරියානු ජනතාව ද රෝග මර්දන ක්‍රියාවලියට දැක්වූයේ පුළුල් සහයෝගයක්. වගකීම් විරහිත ලෙස ක්‍රියා කළ සිද්ධි වාර්තා වූයේ අතලොස්සක් පමණි. “පේෂන්ට් තර්ටි වන්“ යනුවෙන් හැඳින්වන කාන්තාව වගකීම් විරහිත ලෙස හැසිරි 37 දෙනෙකුට රෝගය බෝ කිරීම එක් සිද්ධියක්.
එමෙන්ම “එන්කෝජි“ නමැති ආගමික නිකාය වගකීම් විරහිතව හා සාපරාධි ලෙස ක්‍රියාකිරීම නිසා තේගු පළාතේ දැඩි ලෙස රෝගය ව්‍යාප්තවීම සිදුවූ බවට චෝදනා එල්ල විය. එම ආගමික නිකායට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැණුනු අතර, එහි සාමාජිකයන් දෙලක්ෂ හතළිස් පන් දහසක් දෙනා කඩිනමින් රෝග පරීක්ෂාවට ලක් කෙරිණ. රෝගය ආසාදිතයින් සොයා ගැනීමට අධි තාක්ෂණික ක්‍රම භාවිතය එරට අත්කරගත් සාර්ථකත්වයට තවත් හේතුවක්. ජංගම දුරකතන සබඳතා, අන්තර්ජාල සබඳතා, බැංකු හා ණය භාවිතය හා පුද්ගල සංචරණය නිරීක්ෂණය කෙරෙන ක්‍රියාමාර්ග සියල්ලම සැක කටයුතු පුද්ගලයක් ග්‍රහණය කිරීමේ ක්‍රියාවලියේ දී තාක්ෂණික පරීක්ෂාවට ලක්විය. බදාදා පැවැත්වෙන මැතිවරණයේදී මිලියන 44ක් වන සමස්ත ඡන්දදායකයින්ගේ හා නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.