බ්‍රිතාන්‍ය අගමැතිගේ සහකාරියට පිරිමි දරුවෙක්

අප්‍රේ 30, 2020

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ සහකාරිය වන, කැරී සිමන්ඩිස්‌ ඊයේ ලන්ඩන්‌ රෝහලකදී නීරෝගිමත්‌ පිරීමි දරුවෙකු බිහි කර තිබේ.

    කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස්‌ ජොන්සන්ට විදෙස්‌ මාධ්‍ය තුළ දැඩි අවධානයක්‌ හිමිවිය. ඒ අතර අගමැතිවරයාගේ සහකාරිය සිය කුලුඳුල්‌ දරු උපත සිදු කිරීම නිසා විදෙස්‌ මාධ්‍යවල අවධානය තවදුරටත්‌ යොමු වී ඇත්තේ බොරිස්‌ ජොන්සන්‌ වෙතයි.

    කැරී සිමන්ඩිස්ට ද කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ නමුත්‌ ඇය ඉතා ඉක්මණින්‌ සුවය ලැබූ බව, විදෙස්‌ වාර්තාවල සඳහන්‌. කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබා සුව වූ අගමැති බොරිස්‌ ජොන්සන්‌, ඉකුත්‌ සඳුදා නැවත සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

    මේ අනුව, වර්ෂ 1918 ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන්‌ පසු බ්‍රිතාන්‍ය දරුණුතම සෞඛ්‍ය අර්බුදයට මුහුණ පා සිටින අවස්ථාවක අගමැති බොරිස්‌ ජොන්සන්‌ නැවත සිය පීතෘ නිවාඩු ලබාගන්නේ ද යන්න මෙතෙක්‌ තීරණය කර නැති බව, එරට මාධ්‍ය වාර්තා සඳහන්‌ කරයි.

    කෙසේ වුවත්‌ කොරෝනා වෛරසය හේතුවෙන්‌ බ්‍රිතාන්‍ය මේවන විට දැඩි බලපෑමට ලක්ව ඇති මොහොතක එරට අග්‍රාමාත්‍යවරයා මෙලෙස පිය පදවියට පාත්‍රවීම එරට වැසියන්ගේ සතුටට කරුණක් බවයි වාර්තා වන්නේ.

    Latest News