තලේබාන්වරු දින 03ක සටන් විරාමයක

මැයි 24, 2020

    ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරු දින 03ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    අදින් ආරම්භ වන රාමසාන් උත්සව සමය වෙනුවෙන් මේ සටන් විරාමය ද අද සිට ක්‍රියාත්මක වන බව තලේබාන් සංවිධාන ප්‍රකාශකයා සඳහන් කර ඇත.

    සටන් විරාමය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානි ට්විටර් පණිවුඩයක් හරහා සිය ප්‍රසාදය පළ කර තිබේ. එරට රාජ්‍ය හමුදාව ද සටන් විරාමයට අනුව ක්‍රියාකරන බව ජනාධිපතිවරයා පවසයි.

    මේ සටන් විරාමය ඇෆ්ගනිස්තානයේ දිගුකාලීන සාමකාමී වාතාවරණයකට හේතු වනු ඇතැයි, ඇෆ්ගනිස්තාන බලධාරීන් අපේක්‍ෂා කරයි. එහෙත්, මෙවැනිම සටන් විරාමයක් 2018 වසරේ දී ක්‍රියාත්මක වුවත්, එය කෙටි කලක් ඇතුළත අවසන් විය.

    ඇෆ්ගනිස්තාන රජය හා තලේබාන් සටන්කාමීන් අතර ගැටුම් හටගැනීමෙන් අනතුරුව මෙවැනි සටන් විරාමයක් ප්‍රකාශයට පත්වූ තෙවැනි අවස්ථාව මෙයයි.

    කෙසේ වෙතත්, තලේබාන් ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, මේ සටන් විරාමය රාමසාන් මාසය අවසන් වනතෙක් ක්‍රියාත්මක වන බවයි. මේ කාලසීමාවේ සතුරාට එරෙහිව කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන ලෙසත්, නමුත්, සතුරා විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවහොත්, ඔබ ආරක්‍ෂා විය යුතු බවත්, ප්‍රකාශකයා සිය සංවිධාන සාමාජිකයින්ට පවසා ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News