පවත්නා තත්වය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් එල්ලවන විවේචන තවදුරටත් උත්සන්න වෙමින් පවතී.
උද්ඝෝෂණ මැඩලීම සඳහා අමෙරිකානු පොලිස් සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පවතින්නේ බරපතල ජනතා විරෝධයක්. මේ වනවිට රාජ්‍ය මට්ටමින් ද ඊට එරෙහි ක්‍රියාමාර්ග අනුගමනය කෙරේ. වොෂින්ටන් ප්‍රාන්තයේ සියටල්හි නගරාධිපතිවරයා, විරෝධතාකරුවන්ට එරෙහිව කඳුළුගෑස් හා රබර් උණ්ඩ පාවිච්චිය තහනම් කරමින් පොලිසියට නියෝගයක් නිකුත් කළේය. එමෙන්ම කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා නියෝග කර ඇත්තේ පොලිස් විද්‍යාල පුහුණු කිරීම්වලදී මිනිස් මොලයට ලේ ගමනාගමනය අවහිර වන ආකාරයේ පුද්ගල මෙල්ල කිරීම් අභ්‍යාස වහා නවතා දමන ලෙසයි.
උද්ඝෝෂණ අතරවාරයේදී 75 හැවිරිදි සුදු ජාතික ක්‍රියාකාරිකයෙකුට බරපතල තුවාල සිදුවන ආකාරයෙන් තල්ලුකර දැමීමේ චෝදනා මත නිව්යෝර්කිහි බෆලෝ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරිණ.
ඊට විරෝධය පළ කරමින් ඔවුන් සේවය කළ කැරළි මර්දන ඒකකයේ සියළුම පොලිස් නිලධාරීන් උද්ඝෝෂණ මැඩලීමේ මෙහෙයුම්වලින් ඉවත්වූහ.
පොලිස් ප්‍රහාරයෙන් මියගිය කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ උපහාසාත්මක ප්‍රකාශය ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ දැඩි විවේචනයට ලක්විය. අමෙරිකාවේ දැනට පවතින රැකියා හා ආර්ථික තත්වය ගැන ජෝජ්ර් ෆ්ලොයිඩ්, දෙව්ලොව සිට සතුටු වනු ඇතැයි ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණ. මේ අතර, ජෝ බයිඩන්ට නිල වශයෙන් ඩිමොක්රටික් පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිමිවී ඇති බව ද අද දහවල් ප්‍රකාශ කෙරිණ.
කැනඩාවේ පැවති උද්ඝෝෂණවලට එරට අගමැති ජස්ටින් ටෘෘඩෝ ද එක්වුණේ සියලු දෙනා පුදුමයට පත් කරමින්. ඔහු දණ නමා, කළු ජාතිකයන්ට ආචාර කිරීම විශේෂ සිද්ධියක් විය.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බන් නගරවල පැවති උද්ඝෝෂණවලට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්වූහ. ඒ උද්ඝෝෂණ නැවැත්වීම සඳහා පනවා තිබූ අධිකරණ නියෝගය ද නොතකමින්.