අමෙරිකාව තුළ කොරෝනා වෛරසයේ පැතිරයාම නැවතත්

අගෝ 04, 2020

    අමෙරිකාව තුළ කොරෝනා වෛරසයේ පැතිරයාම නැවතත් උත්සන්න වී තිබේ.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, වෛරසය සදහා මුහුණ දීමට නැවතත් රට වසා දැමීමට පියවර ගැනීම ඵලදායී තත්වයක් නොවන බවයි.

    ගතවූ පැය 24 තුළදී පමණක් එරටින් නව ආසාදිත පුද්ගලයන් 49,038 දෙනෙකු වාර්තා වූහ. එම සංඛ්‍යාවත් සමග අමෙරිකාවේ සමස්ත කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 48 ලක්‍ෂ 13,000ක් ඉක්මවා ගොස් තිබේ. උද්ගතවී ඇති තත්වය හමුවේ රට වසා දැමීමේ තත්වය හදුන්වාදීම සාර්ථක නොවන බව, අමෙරිකානුවන් අවබෝධ කරගත යුතු බව, ට්‍රම්ප් කියා සිටී. රට වසා දැමීමේ තත්වයක් තුළ ජාතික වශයෙන් සිදුවන හානිය හා කඩා වැටීම පිළිබඳ එහිදී අවබෝධ කරගත යුතු බව ඔහුගේ අදහසයි. ට්‍රම්ප් ඇතුළු සියලු කාර්ය අංශ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන ගෙන ඇතත්, එම උත්සාහය අසාර්ථක වී තිබේ. රට යථා තත්වයට ගෙන ඒම සදහා සමාජ දුරස්ථභාවය රැක ගැනීම වැනි සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කිරීම වැදගත් වන බව ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

    එක්සත් ජනපදය පුරා පාසල් නැවත විවෘත කිරීම ඊයේ සිට සිදු කරනු ලැබීය. කොරෝනා වෛරසයේ බලපෑම තවමත් පවතින අමෙරිකාව තුළ පාසල් විවෘත කිරීම පිළිබද සිය විරෝධතාවය පළ කරමින් ගුරුවරුන් සහ සහායක කාර්ය මණ්ඩලය අද විරෝධතාවයක යෙදී සිටී. දැනට දිස්ත්‍රික්ක 35කට අදාළ පාසල්වල ගුරුවරුන් හා කාර්ය මණ්ඩලය මෙම විරෝධතාවයට එක්වී තිබේ. තම ජිවිත හා සිසුවියන්ගේ ජිවිත වෛරසයට බිලිදීමට තමන් සූදානම් නැතැයි විරෝධතාකරුවන් කියා සිටියේය.

    Latest News