කොවිඩ්-19; ඉන්දියාවේ බිහිසුණු මානව ඛේදවාචකය තවදුරටත් උග්‍ර අතට....

මැයි 02, 2021

    කොවිඩ්-19 වසංගතය හමුවේ ඉන්දියාව මුහුණ පා ඇති බිහිසුණු මානව ඛේදවාචකය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතී.

    කොරෝනා ආසාදිතයින් රෝහල් ඉදිරිපිට සහ මහමඟ අවසන් හුස්ම හෙලීම තවමත් දැකගත හැකිය. ගොඩගැසෙන මළ සිරුරු පිලිස්සීම සඳහා මේ වනවිට දර හිඟයක් ද මතුව ඇති බව නවදිල්ලියෙන් වාර්තාවේ.

    ඉන්දියාවෙන් ඊයේ පමණක් කොරෝනා මරණ 3,689ක් වාර්තා විය. එය එරට දිනක් තුළ මෙතෙක් සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාවයි. කොරෝනා දෛනික ආසාදිතයින් ලක්‍ෂ 4 සීමාව පසු කළ රට බවට ද පත්ව ඇති ඉන්දියාවෙන්, ඉකුත් පැය 24 තුළ හඳුනාගෙන ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 92,562ක්.

    වැඩිම රෝගීන් වාර්තා වන්නේ නවදිල්ලි නගරයෙන්. නවදිල්ලි නගරය වසා තැබෙන කාලය සතියකින් දීර්ඝ කරන බව, දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවිද්ත් කේජ්රිවාල් පවසයි. නවදිල්ලියෙන් කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තාවීමට හේතුව එහි අධික ජනගහනය සහ ග්‍රාමීය ප්‍රදේශවල ඇති වෛද්‍ය පහසුකම්වල හිඟය බව වාර්තාවේ.

    මේ අතර, ලොව නරකම වායු ගුණත්වය මේ දිනවල ඉන්දියාවෙන් වාර්තාවේ. නවදිල්ලිය සහ ඒ අවට ප්‍රදේශවල දැඩි වායු දූෂණය ඉතා ඉහළ අගයක් ගෙන තිබේ. සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ මේ තත්වය මත එරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

    Latest News