ඉන්දියාවෙන් දිනක් තුළ හාර ලක්‍ෂයකට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ දෙවැනි වරටයි......

මැයි 06, 2021

    ඉන්දියාවට ලැබෙන විදෙස් ආධාර කොරෝනා ව්‍යවසනයට ගොදුරුවූවන්ට හා රෝහල් වෙත නිසි පරිදි නොලැබෙන බව, හෙළි වී තිබේ.

    නිලධාරීන්ගේ පමාව සහ රෙගුලාසි නිසා හදිසි වෛද්‍ය ආධාර හා ඔක්සිජන් දින ගණනක් පුරා ගුවන් තොටුපලවල ගොඩගැසී පවතින බව වාර්තාවේ. මේ අතර ගෝලීය වශයෙන් රටකින් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

    ඊයේ ඉන්දියාවෙන් නැවතත් ලක්‍ෂ 04කට අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවිය. ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා නව රෝගීන් සංඛ්‍යාව හාර ලක්‍ෂ 12,000කට අධිකයි. ඉන්දියාවෙන් දිනක් තුළ හාර ලක්‍ෂයකට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ දෙවැනි වරටයි.

    එරටින් ඊයේ දිනය තුළ කොරෝනා මරණ 3,980ක් වාර්තා වූ අතර එයද දිනක් තුළ රටකින් වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාවයි. මේ වනවිට ඉන්දියාවේ සම්පූර්ණ කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 30,000 ඉක්මවා ගොස් ඇති අතර, කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 21 ඉක්මවා තිබේ.

    ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින්ම රෝගීන් වාර්තාවීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. දිල්ලි නගරයෙන් මේ දක්වා දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය. එම මරණ සංඛ්‍යාව 448ක්.

    එසේම ඊයේ දිනය තුළ දිල්ලි නගරයෙන් ඊයේ හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 18 දහසකට අධිකයි.

    Latest News