රාජකීයත්වය අත්හල ජපාන කුමරිය...

ඔක් 26, 2021

    සම්ප්‍රදායට පිටුපාමින් හා රාජකීයත්වය අත්හරිමින්, ජපාන රජ පවුලේ සාමාජිකා මාකෝ කුමරිය, අද සිය ආදරවන්තයා සමග විවාපත් වුණා.

    රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මේ විවාහය නිසා, මාකෝ හා ඇගේ සැමියා කොමුරෝ හඳුන්වන්නේ, ජපානයේ හැරී හා මේගන් යුවළ ලෙසයි. මාකෝ කුමරිය ජපාන අධිරාජ්‍යයාගේ බාල සහෝදරයා වන, අකිෂිනෝ කුමරුගේ හා හිකෝ කුමරියගේ වැඩිමහල් දියණියයි.

    සාමාන්‍ය පුරවැසියෙකු වන කෙයි කොමුරෝ සමග විවාපත් වීම නිසා, මාකෝ කුමරියාගේ සියලු රාජකීය හිමිකම් ජපාන නීතිය අනුව අද අහිමි වුණා. එමෙන්ම රජ පවුලෙන් ඉවත් වන අයෙකුට පිරිනැමෙන, සම්ප්‍රදායික මූල්‍යමය ප්‍රතිපාදනය වන අමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක මුදල ද ඇය ප්‍රතික්‍ෂේප කළා. එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ ප්‍රථම ජපාන රාජකීයයා ලෙස, මාකෝ කුමරිය ඉතිහාසයට එක් වෙනවා.

    විවාහයට ප්‍රථම මාකෝ කුමරිය අද උදේ තම දෙමාපියන්ගෙන් හා සොයුරියගෙන් සමුගෙන, අවසන් වරට රාජකීය නිවහනෙන් නික්ම ගියා. ඇය, කොමුරෝ සමග යුග දිවියට එළඹීමේ නිවේදනය කළේ, 2017 වසරේ දී. එහෙත් කොමුරෝගේ පවුලේ විවිධ ගැටලු පදනම් කරගනිමින්, පළ වූ මාධ්‍ය වාර්තා නිසා විවාහයට එරෙහි ජන මතයක් නිර්මාණය වුණා. ඇගේ විවාහය සිදුකෙරුණු අද දිනයේ ද සාම්ප්‍රදායික ජපන් වැසියන් සුළු පිරිසක් විරෝධතාවක නිරත වුණා. ඒ ජපාන සම්ප්‍රදාය ආරක්ෂා කළයුතු බව ප්‍රකාශ කරමින්.

    Latest News