දුම්රිය ස්ථානයකට රුසියානු හමුදා රොකට් ප්‍රහාරයක්... ALJAZEERA

දුම්රිය ස්ථානයකට රුසියානු හමුදා රොකට් ප්‍රහාරයක්...

අප්‍රේ 09, 2022

    රුසියානු හමුදාව යුක්‍රේනයේ "ලුහාන්ස්ක්" ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම වැඩි කර තිබෙනවා.

    තවත් රුසියානු හමුදා භට පිරිස් එම ප්‍රදේශය වෙත ලඟාවෙමින් සිටින බවයි, වාර්තා වන්නේ. යුක්‍රේන බලධාරින් පවසන්නේ,  එම ප්‍රදේශයේ තවදුරටත් රැඳී සිටින ජනතාව කඩිනමින් ඉවත් කිරීම අත්‍යවශ්‍ය බවයි. 30%ක පමණ සිවිල් පිරිසක් එම ප්‍රදේශයේ සිටින බව, ඔවුන් පෙන්වා දෙනවා.

    බලධාරින් එම ජනතාවට දැනුම් දී ඇත්තේ කඩිනමින් එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසයි. "ලුහාන්ස්ක්" ප්‍රදේශය ද ඇතුළුව නැගෙනහිර "දොන්බාස්" ප්‍රදේශයට රුසියාව සිදුකරන ප්‍රහාර තවත් දැඩි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා. බ්‍රිතාන්‍ය ආරක්ෂක බුද්ධි අංශ පෙන්වා දෙන්නේ, යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශවලට එල්ල කෙරෙන රුසියානු ගුවන් ප්‍රහාර ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බවයි.

    යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ තවදුරටත් ක්‍රියාත්මක "ක්‍රමටෝස්ක්" දුම්රිය ස්ථානයට රුසියානු හමුදාව ඊයේ රොකට් ප්‍රහාරයක් එල්ල කළා. එහිදී 52 දෙදෙනෙකු මියගොස් ඇති බවයි, යුක්‍රේන ප්‍රාදේශීය බලධාරින් පවසන්නේ. එම සිදුවීමෙන් තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. රුසියානු හමුදා ප්‍රහාර හමුවේ "දොන්බාස්" ප්‍රදේශයෙන් සිවිල් වැසියන් ඉවත් කිීම සඳහා මෙම දුම්රිය ස්ථානය යොදා ගැනුණු බවයි, යුක්‍රේන බලධාරින් පවසන්නේ.

    "ක්‍රමටෝස්ක්" දුම්රිය ස්ථාන ප්‍රහාරය යුද අපරාධයක් බවට හෙලා දකිමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරන්නේ, එම සිද්ධියට වගකිය යුතු සියලු පාර්ශවයන් නීතිය හමුවට පමුණුවන බවයි. ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා සහය දෙන ලෙස ඔහු ලොව සෙසු රටවලින් ඉල්ලා සිටිනවා. කෙසේ වුවද, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ප්‍රහාරයේ වගකීම රුසියාව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇති බවයි.

    Latest News