ළමුන් 99 ක් මියයාමත් සමග ඉන්දුනීසියාවේ සිරප් තහනමක්

ඔක් 21, 2022

    ඉන්දුනීසියාවේ ළමුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මිය යාමත් සමඟ සියලුම සිරප් සහ දියර ඖෂධ අලෙවිය හා භාවිතය තාවකාලිකව අත්හිටුවීමට එරට රඡය තීරණය කර ඇත.

    ගැම්බියාවේ කැස්ස සිරප් වර්ගයක් භාවිතයෙන් ළමුන් 70 කට ආසන්න පිරිසක් මරණයට පත්වීමේ සිදුවීමෙන් සති කිහිපයකට පසු ඉන්දුනීසියාවෙන් මෙම තොරතුරු වාර්තා වේ. උග්‍ර වකුගඩු ආබාධ (AKI) වලට හේතු වන ද්‍රව්‍ය සමහර සිරප් වල අඩංගු බව එරට සෞඛ්‍ය අංශ  සොයා ගෙන ඇත. ඊයේ (20) වන විට උග්‍ර වකුගඩු ආබාධ සහිත රෝගීන් 200ක් පමණ වාර්තා වී ඇති අතර ඔවුනගෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු 5ට අඩු දරුවන් බව ඉන්දුනීසියා රඡය පවසයි.

    වෛද්‍ය නිර්දේශ යටතේ මෙම සිරප් වර්ග භාවිතයට ගත් ගැම්බියාවේ කුඩා දරුවන් 70 දෙනකු මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ මීට දින කීපයකට පෙරය. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ. ඒ, ගැම්බියා සෞඛ්‍ය අමත්‍යාංශය ලබා දුන් දත්ත පාදක කර ගනිමිනි. එම විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැත.

    ගැම්බියාවේ කුඩා දරුවන්ට මරු කැඳවූ බව පැවැසෙන ඉන්දියාවේ ‘මේඩ්න්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන කැස්ස සමනය කිරීමට ලබා දෙන සිරප් වර්ග ඉන්දුනීසියා රජය විසින් තහනම් කරනු ලැබ තිබේ. ඉන්දුනීසියා රජය පවසා ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිළිතුරක් ලැබෙන තුරු, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොටගත් ‘මේඩ්න්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ කිසිදු සිරප් වර්ගයක් එරට දරුවන්ට නිර්දේශ නොකරන බවය.

    Latest News