අයි.එස්. කල්ලිය සතු භූමිය සිරියානු සෙබලුන් අතට

මාර් 23, 2019

    අයි.එස්.ත්‍රස්තවාදී කල්ලිය සතුව සිරියාවේ පැවති අවසන් භූමි බාගය ද අද සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී සෙබලුන් අතට පත්විය.

    මේ සමඟම අයි.එස්.කල්ලිය 2014 වසරේ ප්‍රකාශයට පත් කළ ඔවුන්ගේ කැලිෆේට් රාජ්‍ය සම්පූර්ණයෙන් බිඳ වැටුණි. මෑත කාලයේ බිහිවූ අතිශය තිරස්චීන මිලේච්ජ ත්‍රස්තවාදී කල්ලියක් ලෙස අයි.එස්. හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් සලකනු ලබන්නේ ඔවුන් සිදුකර ඇති බිහිසුණු අපරාධ හේතුවෙන්. 2014 වසර වනවිට එම කල්ලිය සිරියාවේ සහ ඉරාකයේ වර්ග කිලෝ මීටර් අසූ අට දහසක භූමියක් අත්පත් කරගෙන සිටී.

    එහෙත් අද වන විට ඔවුන් සතුව තිබූ අවසන් බලකොටුව වන සිරියාවේ බෙගූස් නගරය සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවන් අතට පත්වූහ. අයි.එස්. කල්ලිය ගතවූ වසර 5ක කාලය තුළ බිහිසුණු අපරාධ සිදු කළේය. කුර්දි යාදිසි හා ෂියා මුස්ලිම් ජනවර්ගවල අයත් සාමාන්‍ය වැසියන් දස දහසකට අධික සංඛ්‍යාවක් අයි.එස්. කල්ලිය ඝාතනය කළ බවට වාර්තාවේ.

    එමෙන්ම කාන්තාවන් හා ගැහැණු දරුවන් හත් දහසකට අධික සංඛ්‍යාවක් ලිංගික වහලුන් ලෙස අයි.එස්. සටන්කරුවන් විසින් විකුණා දමනු ලැබීය. අනාථ වී සිටි කුඩා පිරිමි ළමයින් මරාගෙන-මැරෙන බෝම්බකරුවන් හා ළමා සොල්දාදුවන් ලෙස යොදාගත් බවයි සැලකෙන්නේ. රුසියානු හා අමෙරිකානු සහය ලැබූ මෙහෙයුම් අයි.එස්. කල්ලියේ අවසානය කඩිනම් කළේය. පලාගිය අයි.එස්. සටන්කරුවන් විසි දහසක් පමණ තවමත් සැගවී සිටින බව විශ්වාස කෙරේ.

    Latest News