ජනපති සහ ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්

මැයි 21, 2024

    ඉන්දුනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා අතර නිල හමුවක් පවත්වා තිබෙනවා.

    ඊයේ (20) පස්වරුවේ දෙරටේ රාජ්‍ය නායකයින් අතර මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

    ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී නායකයන් ප්‍රතිඥා දුන් අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

    එමෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද නායකයන්ගේ අවධානය යොමු වූ අතර ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කර ඇති බව සඳහන් වනවා.

    1956 දී පැවති බැන්ඩුන්ග් සමුළුවට සහභාගිවීම දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතාව සිහිපත් කරමින් සිය අදහස් දැක්වීම ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය සහයෝගීතාව වර්ධනය කිරීමේදී එවැනි සමුළුවල පවතින වැදගත්කම ද පැහැදිලි කර තිබෙනවා.

    එමෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතුවලදී ඉන්දුනිසියානු ජනාධිපති විඩෝඩෝ මහතාගේ නායකත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

    ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා 2025 පළමු කාර්තුව වන විට වරණිය වෙළෙඳ ගිවිසුමට එළැඹීමේ අවශ්‍යතාවය ද පෙන්වා දී තිබෙනවා.

    ඉන්දුනීසියානු ඖෂධ සමාගම් ශ්‍රී ලංකාවේ ඖෂධ එන්නත් වෙළෙඳපොළට ඇතුළු වීමට දක්වන උනන්දුව පිළිබඳව ද සඳහන් කළ ඉන්දුනිසියානු ජනාධිපතිවරයා ඉන්දුනීසියානු පාම් ඔයිල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කරන ලෙස ද ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

    ඉන්දියාව සහ සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකාව දැනට එළැඹී ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ තායිලන්තය, බංගලාදේශය සහ මැලේසියාව සමඟ පවතින සාකච්ඡා පිළිබඳව සඳහන් කරමින් 2025 මුල් භාගය වන විට ඉන්දුනීසියාව සමඟ වරණිය වෙළෙඳ ගිවිසුමට එළැඹීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී යළි අවධාරණය කර තිබෙනවා.

    ඉන්දියන් සාගරයේ කලාපීය ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව ද මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

    Latest News