දරුවන්ටත් කුරිරු වූ ඊශ්‍රායල් හමුදාව

ජූනි 08, 2024

    දරුවන් ආරක්ෂා කිරීමේ නීති උල්ලංඝනය කරන හමුදා ලැයිස්තුවට, ඊශ්‍රායල හමුදාව ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා.

    එම සංවිධානය විසින් සිය තීරණය ඊයේ දැනුම් දුන් බවයි, එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපතිවරයා ප්‍රකාශ කරන්නේ. ඉකුත් වසර තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඊශ්‍රායල හමුදාව අපොහොසත් වී ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

    එහිදී, ළමා ප්‍රචණ්ඩත්වයට එරෙහි නීති, ඊශ්‍රායල හමුදාව විසින් උල්ලංගණය කර ඇති බවයි, එම සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ අනුව, දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ නීති උල්ලංඝනය කරන හමුදා ලැයිස්තුවට, ඊශ්‍රායල හමුදාව ද ඇතුළත් කිරීමට පියවර ගන්නා බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ ඊශ්‍රායලය වෙත දැනුම් දුන්නා.

    එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන මෙම වාර්ෂික ලැයිස්තුව යටතේ, ගැටුම්වලදී දරුවන් ඝාතනය කිරීම, මානුෂීය ආධාර සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම සහ පාසල් මෙන්ම, රෝහල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම යන මූලික කරුණු පදනම් වී තිබෙනවා.

    ඊශ්‍රායල හමුදාව සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය, එළඹෙන සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂිත වාර්තාවකට ඇතුළත් කිරීමට ද නියමිතයි. හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් යන සංවිධාන ද මෙම ලැයිස්තුවට ඇතුළත් කෙරුණු ඇතැයි, අපේක්ෂා කෙරෙනවා.

    කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම තීරණය පිළිබඳව එම සංවිධානයේ ඊශ්‍රායල තානාපති “ගිලාඩ් - එර්ඩන්” සිය අප්‍රසාදය පළ කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News