විලියම්-කේට් පාකිස්තාන සංචාරයක

ජූලි 01, 2019

    විලියම් කුමරු සහ කේට් කුමරිය බ්‍රිතාන්‍යය රාජකීයන් නියෝජනය කරමින් වසර 13කට පසුව පකිස්තානයේ සංචාරයක නිරතවීමට නියමිතයි.

    මේ බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කරයි. දෙරට අතර පවතින ඓතිහාසික සම්බන්ධතාව දෙපාර්ශ්වයටම වැදගත් වන ලෙස තවදුරටත් ශක්තිමත් කිරීම මෙමඟින් අපේක්‍ෂා කෙරේ. එළඹෙන රාජකීය සංචාරය එක්සත් රාජධානිය හා පකිස්තානය අතර පවතින සබඳතා නව මාවතකට යොමු කරනු ඇතැයි, දේශපාලන විචාරකයින් පවසයි. මෑතකදී පකිස්තානය තුළ ආරක්‍ෂාව කඩවීම සම්බන්ධයෙන් විවිධ සිදුවීම් රැසක් වාර්තා විය.

    මේ නිසා මොවුන්ගේ සංචාරය අතරතුර ආරක්‍ෂාව දැඩි කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ. පකිස්තාන සම්භවයක් සහිත මිලියනයකට අධික ජනතාවක් බ්‍රිතාන්‍යයේ ජීවත් වන අතර, එය යුරෝපයේ විශාලතම පකිස්තාන ඩයස්පෝරාව බවට පත්ව තිබේ. 2017 දී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියන 4ක වටිනාකමක් වන අතර, බ්‍රිතාන්‍ය මේ වනවිට චීනය සහ නෙදර්ලන්තයෙන් පසු පකිස්තානයේ තුන්වන විශාලතම විදේශ ආයෝජන සිදුකරන රට වන බව බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව පවසයි. 

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 09:50

    Latest News