මියයන විට ඔහුගේ වයස අවුරුදු 94ක්. ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් උපත ලැබුවේ, 1924 ජුනි මස 12 වැනිදා. ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකට ව්‍යාපාරික හා ප්‍රභූ පන්තිය නියෝජනය කළ අයෙක්.
එමෙන්ම, දෙවැනි ලෝක යුද්ධයට සහභාගි වූ පුද්ගලයන් අතරින් අමෙරිකානු ජනාධිපති පදවියට පත් අවසන් පුද්ගලයා ලෙස ද ඔහු ඉතිහාසයට එක් විය. 1941 අමෙරිකාව දෙවැනි ලෝක යුද්ධයට එක්වූ විට 18 හැවිරිදි බුෂ්, එරට නාවික හමුදාවේ ලාබාලතම ගුවන් නියමුවා ලෙස සටනට එක්ව ඇත. අනතුරුව, ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්රබලයෙකු ලෙස ඛනිජ තෙල් වෙළෙඳාමට එක් වූ බුෂ්, 1964 වනවිට, එනම් අවුරුදු 40 ඉක්මවන විට එරට කෝටිපතියන් අතරින් කෙනෙක් බවට විය.
ඔහු දේශපාලනයට අවතීර්ණ වී ටෙස්සාස් ප්‍රදේශය නියෝජනය කරමින් අමෙරිකානු කොංග්රස් මණ්ඩලයට තේරී පත් වූයේ 1966 වසරේදී. අනතුරුව, 1970 දී ජෝර්ජ් බුෂ් සෙනට් මණ්ඩලයට තේරී පත් විය. ජනාධිපති රිචඩ් නික්සන් විසින් බුෂ් 1973 වසරේ දී එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපතිවරයා ලෙස ද පත් කරනු ලැබීය. එමෙන්ම ඔහු සී.අයි.ඒ. ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස ද සේවය කර තිබේ.
1980 දී රිපබ්ලිකන් පක්ෂයෙන් අමෙරිකානු ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වූ බුෂ්, මූලික වටයෙන් පරාජය ලැබීය. ජනාධිපති අපේක්ෂකත්වය හිමිකර ගත් රොනල්ඩ් රේගන් තම උප ජනාධිපති අපේක්ෂකයා ලෙස බුෂ් නම් කළේය. ඒ අනුව 1980 සිට 88 දක්වා ඔහු අමෙරිකානු උප ජනාධිපතිවරයා ලෙස සේවය කර ඇත. 1988 දී ජනාධිපතිවරණයට තරග කළ බුෂ්, ඩිමොක්රටික් අපේක්ෂක මයිකල් ඩුකාකිස් පරාජයට පත් කරමින් ජය අත්කර ගත්තේය. අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් බුෂ්, 1989 සිට 93 දක්වා එම පදවිය දැරීය.
ඔහුගේ පාලන සමය තුළ ලොව ප්රබලතම වෙනස්කම් සිදුවිය. 1989 බර්ලින් තාප්පය බිඳ හෙලුනු අතර, ඊට සමගාමීව අමෙරිකාවේ ප්‍රතිවාදී බලකඳවුර වූ සෝවියට් දේශය ප්රමුඛ නැගෙනහිර සමාජවාදී බල කඳවුර බිඳවැටිණ. 1990 වසරේදී සදාම් හුසේන් ඉරාක ජනාධිපතිවරයා තම හමුදා ලවා කුවේට් රාජ්‍යය ආක්‍රමණය කිරීමෙන් පසු ඊට එරෙහිව, අමෙරිකාව 1991 ජනවාරි මාසයේ දී පළමු ඉරාක යුද්ධය සිදු කළේය.
රටවල් 35ක සන්ධානයක් සමඟ අමෙරිකාව, ඉරාකයට එරෙහිව කළ එම යුද්ධයේ දී ජිවිත දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් විනාශ විය. යුද්ධය ජය ගත්තත්, බුෂ්ට ජනාධිපති පදවිය දැරිය හැකි වූයේ එක් ධූර කාලයක් පමණි. 1992 ජනාධිපතිවරණයේ දී ඔහු බිල් ක්ලින්ටන් අතින් පරායට පත්විය.
ජෝර්ජ් එච්.ඩබ්ලිව්.බුෂ් ජ්‍යෙෂ්ඨ බුෂ් ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ, ඔහුගේ වැඩිමහල් පුත් ජෝර්ජ් වෝකර් බුෂ් 2000 වසරේ අමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමඟයි. ඔහුගේ බාල පුත් ජෙබ් බුෂ් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ 43 වැනි ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළේය. ඊයේ රාත්‍රී අභාවයට පත්වූ ඔහු දීර්ඝතම කාලයක් ජීවත් වූ අමෙරිකානු ජනාධිපති පදවිය බෙ වූ තැතැත්තා ලෙස ද ඉතිහාසයට එක්ව සිටී.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...