අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල සැප්තැම්බර් මස 4 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියකට සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අගෝස්තු මස 26 වැනිදා යළි කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා තවදුරටත් ලබන 02 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් නමැත්තා තව දුරටත් මේ මස 26 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නේය.

අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන දෙවන පැමිණිල්ලට අදාළව අද සිට මාසයක් ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව විමර්ශන අවසන් කර චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපති විසින් අගවිනිසුරුගෙන් අවසර ඉල්ලා තිබේ.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන අගෝස්තු මස 23 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ජනාධිපතිවරයා විසින් පවතින නීතිරීති හා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ මස 24 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල විභාග කිරීම සඳහා පත් කළ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයකු අද ඉවත් විය.

Latest News