කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදා හරින ලද සැකකරුවන් 08 දෙනෙකුට මේ මස 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කළේය.

පසුගියදා මිනුවන්ගොඩ නගරයේ හා ඒ අවට හටගත් කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිසෙන් අද අධිකරණයට ඉදිරිපත් කළ 32කට ඇප ලබා දී තිබේ.

සේපාල රත්නායකගේ අමිල සම්පත් හෙවත් "රොටුඹ අමිල" අද සහ රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් "කළුවා" මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 4 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ හා සුමිත් රණසිංහ ඇතුලු සැකකරුවන් හත් දෙනා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද 21 නියෝග කළේය.

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දුන් නියෝගයකට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 13 දෙනා ලබන මස 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෑතකදී බම්බලපිටිය පොලිස් වසම තුළ බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ මෝටර් රථයේ චැසි අංකය  මෙරට දී බද්ධ කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු යැයි ප්‍රකාශයක් කළ බව කියන ඇමතිනී විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණය දැනුවත් කරන්නැයි සිහි කැඳවීමක් කර තිබේ.

ඉකුත් 21දා සිදු වූ පිපිරීම්වලට සැකපිට කොල්ලුපිටියේදී යූද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (29) නියෝග කර තිබේ.

Latest News