ඉදිරි දෙසතිය තුළ එළවළු මිලෙහි අඩුවීමක්

ජන 02, 2020

    වෙළෙඳ පොළේ එළවළුවල මිල මට්ටම ඉදිරි සති දෙකෙන් පසු පහළ යන බව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

    මහ කන්නයේ එළවළු අස්වනු වෙළෙඳ පොළට පැමිණිම ඊට හේතුව බව ඔවුන් පවසයි. නිසකවම ඉදිරි දෙසතිය තුළ එළවළු මිල පහළ යනු ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්‍ෂ දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

    “සැපයුම තමයි නිරන්තරයෙන් උච්චාවචන තත්වයක් ඇත්වෙන්නේ. නමුත් මෙම වසර තුළ විශේෂයෙන් යාපනය, කල්පිටිය, මෙවැනි අපේ පහතරට එළවළු මෙම කාලසීමාවේ දී වැඩි වශයෙන් සපයන ප්‍රදේශවලත් අධික වර්ෂාපතනයක් ඇවිත් කෙටි කාලයක් තුළ වගාව විශාල වශයෙන් විනාශ වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි එළවළු සඳහා තිබෙන ඉහළ මිල මට්ටම් වාර්තා වෙන්නේ. ඉතාමත් වගකීමෙන් කියනවා මෙම තත්වය ඉදිරි සති දෙකක කාලසීමාව තුළ පවතින්න පුලුවන්. එතැනින් පසු මිල මට්ටම්වල පහළ යාමේ තත්වයක් තමයි වාර්තා වන්නේ. මහ කන්නයේ අස්වනු එළවළු වෙළෙඳ පොළට සැපයෙන්න නියමිතයි. මෙම මස අවසන් සතියේ ආරම්භයත් සමඟ“ යැයි දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසීය.

    දුම්රිය මගීන්ට සහන මිලට එළවළු හා වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදීමේ වැඩසටහනේ මුල් අදියර අද (02) ආරම්භ කෙරිණ. ඒ මරදාන දුම්රියපොළ පරිශ්‍රයේදී. මෙහිදී එළවළු වර්ග 10ක් අඩංගු කිලෝ දෙකහමාරක පමණ මල්ලක් රුපියල් 500ක් වැනි මුදලකට ලබාගැනීමේ හැකියාව පවතී. වැඩසටහන අද සිට සතියේ දිනවල සවස 3.00 සිට මරදාන සහ කොටුව දුම්රිය ස්ථානයන්හි ක්‍රියාත්මකයි. සමාරම්භක අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සී.බී.රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

    Latest News