විශ්වවිද්‍යාල ගැටලු තැන් විසඳුවා: දැන් ක්‍රියාත්මක වන්නේ රටේ සහ ජාතියේ න්‍යාය පත්‍රයයි

ජන 02, 2020

    විශ්වවිද්‍යාල ගැටලුවලට මැදිහත්වී ගැටලු තිබූ තැන්වලට විසඳුම් ලබා දී ඇති බවත් දැනට ක්‍රියාත්මක වන්නේ ජාතියේ සහ රටේ න්‍යාය පත්‍රය බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසයි.

    උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ දී ශිෂ්‍ය නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ශිෂ්‍ය සංගම් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාව ඉතා සාර්ථකව සිදු විය.

    එහිදී අඳහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා 

    මේ රටේ වැඩකරන වසර ලෙස 2020 අපි පළමු වෙනිදා වැඩ පටන් ගත්තා. පසුගිය කාලයේ පැවතුණු තත්ත්වය අනුව අමාත්‍යංශවලට, ඊට අයත් ආයතනවලට ඇමතිවරු ඇවිත් නැහැ. මම මේ අමාත්‍යංශයට එනකොට මෙහි සියලු ම ගේට්ටු වහලා තිබුණේ සිසුන්ට. මම දරුවන්ට කතා කරලා කිවුවා අපි ඇවිත් ඉන්නේ එන්න කතා කරන්න කියලා. වැඩ භාරගෙන පහුවෙනිදා උදේ 7.30ට මම ඔවුන් හමුවෙලා වැඩ පටන් ගත්තේ. හැබැයි අවාසනාවට ඒ සියලු සාකච්ඡා මාධ්‍යයට විවෘත වුණේ නැහැ. මින් පසුව මේ සාකච්ඡාවල කිසිවක් කිසිවකුට හංගන්න අවශ්‍ය නැහැ. අපි දැන් ක්‍රියාත්මක කරන්නේ කාගේවත් න්‍යායපත්‍ර නෙමෙයි. ජාතියේ න්‍යාය පත්‍රය. රටේ න්‍යාය පත්‍රය.

    මම විවෘතව විශ්වවිද්‍යාල තුළ තිබෙන ගැටලු වලට මැදිහත්වෙලා මේ වනවිට ගැටලු රැසක් තිබුණු තැන්වල ගැටලු විසඳුවා. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍යායතනයේ ඇතිවෙලා තිබුණු ගැටලුව මම එම ස්ථානයට ගිහින් සිසුන් හමුවෙලා ඉක්මනින් විසඳුවා. පාලි හා බෞද්ධ විශ්විවද්‍යාලයෙත් එහෙම ගැටලුවක් තිබිලා විසඳුවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නිසිබලධරයා පිළිබඳ ගැටලුවක් තිබුණා. ඒක විසඳුවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා විශ්‍රාමික හමුදා නිලධාරීන් විශ්විවද්‍යාලවල පාලනාධිකාරියට ගැලපෙන්නේ නැහැ කියා. ඒ නිසා පසුගිය යුගයේ එහෙම පත් කරලා තිබුණු අය ඉවත් කරලා උගත් පළපුරුදු සිවිල් ආචාර්ය මහාචාර්යවරු ඒ සඳහා පත් කළා. ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පරිපාලන රටාවක් තුළ නිදහසේ දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව දැන් අපේ රජය විසින් උදා කරලා දීලා තියෙනවා.

    ඒවගේම දරුවන්ගෙන් පැමිණිලි ආවා මඩකලපුව නැගෙනහිර විශ්විවද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යයනය සඳහා අදාළ ගොඩනැඟිලි විවෘත කරන්නේ නැහැ කියලා. අපි මේ 06 වෙනිදට විශ්වවිද්‍යාලයට යනවා. සාකච්ඡා කරලා සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ කොහොම ද කියලා හොයලා බලලා සිසුන් ගේ පහසුකම් සලසා දෙනවා. ඒවගේ ම අත්අඩංගුවට ගන්න ඉන්නවා කියලා දරුවන් අපිට ඇවිත් කිවුවා. මම ඒ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට කතා කරලා කිවුවා මේක සාකච්ඡාවෙන් විසඳගන්න අපට අන්තිම අවස්ථාවක් ලබා දෙන්න කියලා. කතා කරලා මේ ගැටලු විසඳගන්න අපිට පුළුවන්. එහෙම නැතුව දවස ගානේ කඳුළු ගෑස් ගහලා, ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රශ්න කවද ද ඉවර වෙන්නේ. මේ දේවල් කවද හරි ඉවර වෙන්න ඕනේ. යනුවෙන් ද පැවසී ය.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා ද ශිෂ්‍ය නියෝජිතයින් රැසක් ද එක්වූහ.

     

    Latest News