මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා තම සේවාදායකයාට අයත් ජංගම දුරකථනය අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල දුරකථනයේ රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තා කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ජංගම දුරකථනය තුළ සැකකාරිය විසින් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සමඟ පැවැත්වූ සංවාද හා ඇමතුම් ඇතුළත්ව තිබෙන බවත් තානාපති වරප්‍රසාද පනත මෙන්ම වියානා සම්මුතියේ 38 (2) වගන්තිය යටතේ එම ඇමතුම් සදහා තානාපති මුක්තිය හිමිවන බව සඳහන් කළේය.
මෙම නීතිමය තත්ත්වය යටතේ අදාළ දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට හැකියාවක් තිබේ ද? යන නීතිමය ගැටළුව මතු වන බවයි විත්තියේ නීතිඥවරයා කරුණු දක්වා සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම කරුණ සම්බන්ධයෙන් වූ තම නියෝගය ලබන 21 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළාය.
මේ අතර විත්තියේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ඉකුත් නඩු දිනයේ තම සේවාදායිකාවගේ දරුවන් තිදෙනා සහ මව සිංගප්පූරුවට ගොස් සිටි බව ප්‍රකාශ කළ අතර ඒ බව තහවුරු කෙරෙන ලේඛන ද අද අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින රහස් පොලිසියට ගොස් වාර්තා කළ යුතු බවටද අධිකරණය විසින් සැකකාරියට නියෝග කළේය.
අනතුරුව පැමිණිල්ල ලබන 21 වැනිදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද පොලිසියට දැනුම් දුන්නේය.