මධ්‍යම සංස්කෘතික අරමුදල විමර්ශනයට කමිටුවක්

ජන 10, 2020

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ කරන ලද කාර්යයන් විමර්ශනයට කමිටුවක් පත්කර තිබේ.

    2016 සිට 2019 දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යයන්, මෙහිදී විමර්ශනයට ලක් කිරීමට නියමිතයි. බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කමිටුව අද පත්කර ඇති බව, අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි. මෙහි සභාපතිත්වය දරන්නේ, හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකු වන ගාමිණි සරත් එදිරිසිංහ මහතායි. ගෝඨාභය ජයරත්න හා හරිගුප්ත රෝහණධීර යන මහත්වරුන්, සෙසු සාමාජිකයන් වේ.

    අරමුදලේ මුදල් නිසි පරිදි භාවිත වී තිබේ ද, ආදායම් උත්පාදනය නිවැරදිව සිදුවී ඇත්ද යන්න පිළිබඳව, විමර්ශනය කිරීමට නියමිතයි. වියදම් සිදු කළේ, රෙගුලාසිවලට අනුව ද යන්න හා මේ වනවිට පාඩු කොපමණ ද යන්න පිළිබඳව ද කමිටුව අවධානය යොමු කිරීමට නියමිතයි. අරමුදල කඩාවැටීමට හේතුව හා වංචා දූෂණ සිදුවී ඇද්ද යන්න පිළිබඳව, සති 6ක් තුළ වාර්තාවක් ලබාදීමට කමිටුවට බලය පවරා ඇතැයි අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.

    Latest News