අගමැති සහ ඇමති මණ්ඩලයට එරෙහි පෙත්සම විභාගය ජනවාරි 16-18

දෙසැ 12, 2018

    Uupdate - අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයේ පත්වීම් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම විභාගය ජනවාරි 16, 17, 18 පැවැත්වීමට අභියාචනාධිකරණය දින නියම කෙරේ.

    එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමට  අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කෑදවු අවස්ථාවේ අධිකරණය විසින් මෙම නියෝගය කෙරිණ.
    පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධතාවක් මතුකරමින් මෙම නඩුවට අදාළ නොතීසි සහ  ලිපිගොනු ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව පෙත්සම්කාර පාර්ශවය විසින් තමන් වෙත නිසි පරිදි භාරදී නොමැති බව ප්‍රකාශ කලේය. මෙය ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීමක් බැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන මෙන්ද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එවැනි නියෝගයක් මේ අවස්ථාවේ නිකුත් කළ නොහැකි බවත්, විරෝධතාව සුදුසු අවස්ථාවේදී මතුකරන ලෙස සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විවෘත අධිකරණයේදී දැනුම් දුනි. 
    පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනාගෙ නොතිසි හා ලේඛන බාරදීම 17 දෙනෙකුට පමණක්  කර ඇති බවත් ඉතිරි වගඋත්තරකරුවන් තිස් දෙදෙනාට නඩුවේ ලේඛන ලැබී නොමැති බවත් වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට චෝදනා කර සිටියේය..
    ඒ අනුව මෙම නඩුවේ සියලුම වගඋත්තරකරුවන්ට නැවත නොතිසි හා ලේඛන නිකුත් කරන ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියම කලේය. අනතුරුව නඩුවට අදාළ විරෝධතා ජනවාරි මස 4 වනදා ඉදිරිපත් කරන මෙන් වගඋත්තරකරුවන්ට නියම කළ අතර ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ජනවාරි 11 වැනිදා ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
    අනතුරුව පෙත්සම් විභාගය ජනවාරි මස 16, 17 සහ 18 යන දිනවල පවත්වන බව ද අධිකරණය නියෝග කෙරිණ.
    පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි. මෙ අනුව
     ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවයි පෙත්සම්කරුවන් කියා සිටියි.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
    පෙත්සමේ වගඋත්තරකරුවකු වන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ඉකුත් දා පෙත්සම්කරුවන් විසින් සම්පත කළ බව කියන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බවයි. මුලින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කටහඬ පදනම් කරගෙන සම්මත වී ඇති බව කතානායකවරයා නිවේදනය කළ බව කී ජනාධිපති නීතිඥ මාරපන මහතා ස්ථාවර නියෝග 47(1)  යටතේ කතානායකවරයා එම යෝජනාව අති බහුතරයකින් සම්මත කර ඇති බව නිවේදනය කලේ යයි ද කියා සිටියා. අදාල විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසුව බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ස්ථාවර නියෝග අත්හිටුවා තිබියදී ස්ථාවර නියෝග 47(1) යටතේ කටහඬ පදනම් කරගෙන ඡන්ද විමසීම සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න  කර තිබිණ.
    පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක මෙවැනි යෝජනාවක් සම්මත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මාරපන මහතා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයක් පැවැත්වෙන හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙන තුරු මෙම පෙත්සම් සලකා නොබලන මෙන්ද ඉල්ලා තිබිණ. එමෙන්ම අදාළ විශ්වාසභංග යෝජනා විධිමත් ආකාරයට සම්මත වී නොමැති හෙයින් මෙම පෙත්සම්  විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන්ද ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
    මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හතළිස් නව දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
     
     
    අගමැති ධුරයට එරෙහි පෙත්සම විභාගය ඇරඹේ (10.40) .....
     

    මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය දැරීමට නීතියානුකූල හිමිකමක් නොමැති බැවින් අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ අමාත්‍ය මණඩලයේ පත්වීම් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගය ආරම්භ වී තිබේ.

    ෙඑක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු  විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.   

    අනතුරුව දෙසැම්බර් 3 වැනිදා   මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කෙරුණි. නිකුත් කර තිබෙන තහනම් නියෝගය නඩු විභාගය අවසන් වනතුරු බලපාන බව ද නියෝගයේ සඳහන් වේ.   

    මෙම නියෝගය ලබා දුන්නේය, දීර්ඝ කරුණු විමසීකින් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මගින්.

    Last modified on බදාදා, 12 දෙසැම්බර් 2018 13:37

    Latest News