බටලන්ද ආරක්‍ෂක සේවා විද්‍යාලයේ උපාධි ප්‍රදානය ජනපති අතින්

දෙසැ 12, 2018

    බටලන්ද ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 12 වැනි උපාධි ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී අද පැවැත්විණ.

    ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. තෝරාගත් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ වෘත්තිය අවබෝධය දියුණු කිරීම හා ඔවුන් තම ආයතනවල අණ හා මාණ්ඩලික තනතුරු සඳහා පුහුණු කිරීම මේ විද්‍යාලය මගින් සිදු කෙරේ.

    ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින මෙය වෘත්තියමය වශයෙන් ඉහළ දැනුම් සම්භාරයක් සම්පාදනය කරන නායකත්ව හා කළමනාකරණ පුහුණුවත්, ත්‍රිවිධ හමුදා ඉහළ තනතුරුවලට අදාළ රාජකාරී පිළිබඳ පුහුණුවත් සම්පාදනය කෙරෙන ප්‍රධානතම ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ. යුද නාවික සහ ගුවන් හමුදා ශිෂ්‍ය නිලධාරීන් 122, විදෙස් සිසුන් 14 දෙනෙකු ඇතුලු ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීහු 136 දෙනෙක් මෙවර උපාධි සහතික හිමිකර ගත්හ.

    පාඨමාලාවේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ශිෂ්‍ය භටයන් වෙත සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවිය. හොඳම පර්යේෂණ කෘති සඳහා ද සම්මාන පිරිනමනු ලැබීය.


    බටලන්ද ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ස්ථාපනය කෙරුණු නවීන පහසුකම්වලින් යුත් පුස්තකාලය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා උපාධිධාරී නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුලු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Latest News