සමගි ජන බලවේගය පිහිටුවයි

මාර් 02, 2020

    සමගි ජන බලවේගය පිහිටුවීමේ සමාරම්භක උත්සවය, කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අද (02) පෙරවරුවේ පැවැත්වුණා.

    ඒ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සමගි ජන බලවේගයේ නායකත්වය උසුලනු ලබන්නේ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. දේශපාලන පක්‍ෂ 5ක, සිවිල් සංවිධාන 20ක සහ වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන් සමගි ජන බලවේගය සමඟ අද ගිවිසුම්ගත වුණා. එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මීට සහභාගි නොවීම විශේෂත්වයක්.

    නව සන්ධානයක් පිහිටුවීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට බලය ලබාදුන්නේ එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයයි. සමගි ජන බලවේගය ආරම්භ වුවත් මහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණු පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂය සමඟ මේ වනතුරුත් එකඟත්වයකට පැමිණ නැහැ. ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී නව සන්ධානයේ ලාංඡනය ලෙස “දුරකතනය“ යොදා ගැනීම සම්බන්ධව ඉදිරිපත් වූ යෝජනාවට එකඟත්වය පළ කළේ, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනෙකු පමණයි.

    Latest News