අද මධ්‍යම රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇතැයි වාර්තාවේ

මාර් 02, 2020

    අද මධ්‍යම රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇතැයි, තොරතුරු වාර්තා වනවා.

    ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද රාත්‍රී අත්සන් කරනු ඇතැයි ද සඳහන්. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇති බවයි, දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පවත්වා වසර හතර හමාරකට පසු විසුරුවා හැරීමේ බලය හිමිවනවා. නාම යෝජනා බාර ගැනීම මාර්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතයි. ආණ්ඩුව විසුරුවා හැර දින 52ක් හා 66ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්විය යුතුයි.

    අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇත්තේ, ඒ අනුවයි. ඊට අමතරව, මැයි මස 12 වැනිදා පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ කෙරෙනු ඇති. පාර්ලිමේන්තු විසුරුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩලයේ බලතල ඒ අයුරින්ම පවතින අතර, යළි අග්‍රාමාත්‍යවරයෙක් පත්වන තෙක් ඔවුන්ට ධූරයේ රාජකාරී පැවරෙනවා. රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ බලය පාර්ලිමේන්තුව විසරවීමත් සමඟ අහෝසි වනවා.

    මැතිවරණයට මුහුණදීම සඳහා ප්‍රධාන දේශපාලන පක්‍ෂ සන්ධානගත වීම මෙවර විශේෂත්වයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිකර තිබෙනවා. පිළිගත් දේශපාලන පක්‍ෂ 12ක් හා විසිල් සංවිධාන රැසක් ඊට සහය ලබා දෙනවා. සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රියා කරන අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි සභාපතිවරයායි.

    මෙවර මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරීමට ඊයේ රැස්වූ එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා. ඊට මුලසිටම විරෝධය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සමගි ජනබල වේගය බිහි කළා. ප්‍රධාන දේශපාලන පක්‍ෂ 5ක් හා සිවිල් සංවිධාන කිහිපයක් ඔවුන් සමඟ සන්ධාන ගතව සිටිනවා. අලියා ලකුණින් බැහැර වී වෙනත් ලකුණක් යටතේ මැතිවරණයට තරග කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා. කෙසේ වුවද එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජනබලවේගයට නිල වශයෙන් මෙතෙක් එක්වී නැහැ.
    ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබලවේගය යටතේ මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතයි. ඔවුන්ගේ ලකුණ මාලිමාවයි.

    Latest News