සමාජ ආරක්‍ෂණ ප්‍රතිලාභ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි

අප්‍රේ 19, 2020

    කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සමාජ ආරක්‍ෂණ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිහිටි, ආබාධිත, සමෘද්ධි හා වකුගඩු ආදි දීමනා ලබාදීම මේ වනවිට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි.

    එම වැඩසටහනේ දිගුවක් ලෙස දෛනික ජීවනෝපාය අහිමි වූ ජනතාවට ද රුපියල් 5,000 දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, පවුල් ලක්‍ෂ 53කට ප්‍රතිලාභ හිමිවන අතර, ඒ සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 2,650ක්.

    රජය ක්‍රියාත්මක කරන සමාජ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන යටතේ ඒ සඳහා සුදුසුකම් ලබන ප්‍රතිලාභීන් තෝරාගනු ලබන්නේ, ග්‍රාමීය කමිටු මගින්. එම ග්‍රාමීය කමිටු මේ වනවිට දිවයින පුරාම ක්‍රියාත්මකයි. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශ්ව රැසකින් සමන්විත මෙම ග්‍රාමීය කමිටු ප්‍රතිලාභීන් තෝරා ගනු ලබන්නේ, සාමූහික සාකච්ජාවකින් පසුවයි.

    ඊට අමතරව, ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසු පිරිස් ලියාපදිංචි වී සිටින රාජ්‍ය හා පළාත් මට්ටමේ ආයතනවලින් ලබාගත් නාම ලේඛන ද මේ වනවිට ග්‍රාමීය කමිටු වෙත යවා ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සංරක්‍ෂණ අමාත්‍යාංශය පවසයි. එම කමිටුවලින් තෝරාගත් පරිදි සුදුසුකම් ලබා එහෙත්, මේ දක්වා ප්‍රතිලාභ හිමි නොවූ පුද්ගලයන්ට මුදල් ප්‍රතිලාභ ලබාදීම හෙට සහ අනින්දා සිදු කිරීමට නියමිතයි. හැකි සෑම අවස්ථාවකදීම අදාළ නිලධාරීන් නිවෙස් වෙතම ගොස් ප්‍රතිලාභ මුදල් ලබාදීමට කටයුතු කර තිබේ.

    නමුත්, යම් ප්‍රායෝගික තත්වයන් හේතුවෙන් පොදු ස්ථානයකදී අදාළ ගෙවීම් සිදු කිරීමට සිදුවුවහොත්, සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිලිපදින ලෙස රජය ඉල්ලීමක් කරයි. කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වී සහන ලැබිය යුතු සියලුම කණ්ඩායම්වලට ප්‍රතිලාභ ලබාදීම රජයේ ප්‍රමුඛ අරමුණයි. දැනට ප්‍රතිලාභවලට හිමිකම් ලැබිය යුතු යැයි හඳුනාගෙන ඇති කණ්ඩායම්වලට අමතරව එම සහනය තවදුරටත් ලැබිය යුතු යැයි රජය විසින්, ප්‍රතිපත්තිමය වශයෙන් හඳුනා ගන්නා ජීවනෝපාය අහිමි අනෙක් කණ්ඩායමට අප්‍රේල් 22 වැනිදා සිට ප්‍රතිලාභ ලබාදීමට අපේක්‍ෂිතයි.

    එම පිරිසට අමතරව තවදුරටත් ප්‍රතිලාභ ලැබිය යුතු යැයි අභියාචනා ඉදිරිපත් කර ඇති පුද්ගලයින්ට ද සුදුසුකම් සපුරන්නේ නම්, අප්‍රේල් 22 වැනිදා එම දීමනා ගෙවීමට නියමිතයි. එම නිසා අනවශ්‍ය කලබලවීමකින් තොරව සහ සෑමවිටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අදාළ නිලධාරීන් සමඟ සහයෝගයෙන් මෙම ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම සහන වැඩපිළිවෙළ යටතේ මුලින්ම ප්‍රතිලාභ ලබා දුන්නේ වැඩිහිටි, ආබාධිත, සමෘද්ධි හා වකුගඩු දීමනා ලබන පිරිසයි. පළමු අදියර යටතේ පවුල් ලක්‍ෂ 33කට ප්‍රතිලාභ ලැබුණු අතර, එම මුදල රුපියල් කෝටි 1,650ක් . දෙවැනි අදියර යටතේ තවත් පවුල් ලක්‍ෂ 20කට ප්‍රතිලාභ වශයෙන් රුපියල් කෝටි 1,000ක් ලබාදීමට නියමිතයි.

    Latest News