අඩු ආදායම්ලාභීන්ට වියළි ආහාර පාර්සල් බෙදාදීම දිවයින පුරා

අප්‍රේ 19, 2020

    අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීමේ දුෂ්කරතාවයෙන් පෙළෙන අඩු ආදායම්ලාභී ජනතාවට වියලි ආහාර පාර්සල් බෙදාදීම දිවයින පුරා මේ දිනවල සිදු කෙරේ.

    ඊට විවිධ අංශවල දායකත්වය ලැබී තිබේ. යටගල රජමහා විහාරස්ථානය අවට ග්‍රාම සේවා වසම්වලින් තෝරා ගැනුණු අඩු ආදායම්ලාභී පවුල් 200ක් සඳහා වියලි ආහාර පාර්සල් ප්‍රදානය පසුගියදා සිදු කෙරිණ. විහාරස්ථ දහම් පාසලේ ආදි සිසු-සිසුවියන් විසින් මෙය සංවිධාන කරනු ලැබීය. දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක යටගල රාජමහා විහාරාධිපති, පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් ඊට අනුශාසකත්වය ලබාදුන්නේය.

    ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට අනුබද්ධව පවත්නා මුරපොලවල්වල සේවය කරන පොලිස් නිලධාරීන්ට කෙටි ආහාර හා වියලි ආහාර පාර්සල් ප්‍රදානය ඊයේ සිදු කෙරිණ. එය සංවිධාන කළේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. පෞද්ගලික ව්‍යාපාරිකයෙකු ඊට මූල්‍ය දායකත්වය ලබා දී තිබේ.

    වවුනියාව, නොච්චිකුලම ග්‍රාමසේවා වසමේ තෙලඟු ජනවර්ගයට අයත් පවුල් 82ක් සඳහා වියලි ආහාර පාර්සල් ප්‍රදානය ඊයේ සිදු කෙරිණ. ඒ, වව්නියාව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින්.

    පවතින ඇඳිරි නීතිය හමුවේ තම ගම් ප්‍රදේශවලට යා ගත නොහැකිව කොළඹ නගරයේ විවිධ ස්ථානවල රැඳී සිටින පුද්ගලයන් සඳහා වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහනක් ඊයේ සිදු කෙරිණ. “හෙළ අපි“ සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් මෙය සිදු කෙරිණ.

    කළුතර, බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පවත්වා ගෙන යන නිරෝදායන මධ්‍යස්ථානයේ රඳවා සිටින යාචකයන් 40 දෙනෙකු සඳහා ඇඳුම් පැළඳුම් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රදානය පසුගියදා සිදු කෙරිණ. ඒ, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

    ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් 140 දෙනෙකු සඳහා වියළි ආහාර පාර්සල් ප්‍රදානය කිරීම පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද සිදු කෙරිණ. එම කාර්යාලය, පාදුක්ක පොලිසිය සහ ත්‍රිරෝද රථ සංගමය එක්ව සංවිධාන කරනු ලැබීය.

    මේ අතර හලාවත මහ රෝහලේ අබලන් ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කොට ස්වසන රෝග ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ. රෝගීන් 24 දෙනෙකුට දුරස්ථභාවය පවත්වා ගනිමින් නේවාසිකව ප්‍රතිකාර ගත හැකි ලෙස මෙය සකසා ඇත.

    Latest News