අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

දෙසැ 21, 2018

    උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළ ගොස් ඇතැයි, පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.

    ලෝක වෙළෙඳ පොළේ එම ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීම හා රජය බදු සහන ලබාදීම ඊට හේතුව බව ඔවුහු කියා සිටිති. නත්තල් උත්සවය හා එළඹෙන අළුත් අවුරුද්ද සඳහා ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවතින බව තොග වෙළෙන්දෝ පවසති. පිට පළාත්වලින් ආහාර තොග රැගත් ලොරි රථ විශාල ප්‍රමාණයක් දෛනිකව පැමිණෙන අතර, කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට හැකි බවද ඔවුහු පවසති.

    ලංකා සතොස ආයතනය ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කර තිබේ. 403ක් වන ලංකා සතොස ශාඛා ජාලය මගින්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීමට පියවර ගෙන තිබේ. සියලු අලෙවිහල් උදේ 8.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘතව පවතී. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 450කට අධික සංඛ්‍යාවක් වට්ටම් සහිතව අලෙවි කෙරේ.

    මීට අමතරව තෝරාගත් ලංකා සතොස ශාඛාවල ධීවර සංස්ථාව සමඟ එක්ව මාළු අළෙවි කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අවම මිලක් පවත්වාගෙන යමින් ජනතාවට සහන සළසන බව එහි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්.එච්.එම්.ෆාරාස් මහතා පවසයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238

    Last modified on සිකුරාදා, 21 දෙසැම්බර් 2018 18:29

    Latest News