4819ක් නිරෝධායනය අවසන් කරයි

මැයි 02, 2020

    ඇදිරි නීතිය කඩකළ 1217 දෙනෙකු පසුගිය පැය 24 දී අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා.

     

    වාහන 314 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    කොරෝනා වසංගත තත්වය පාලනය කිරිම සදහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ.

    මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 690 ක් දක්වා වැඩිවී තිබෙනවා.

    ඒ ඊයේ (01) තහවුරු කරගත් ආසාධිතයන් විසිපස්දෙනාත් සමග.

    සම්පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගිය සංඛ්‍යාව එකසිය හැට දෙකක්. මරණ හතක් වාර්තාවුණා.

    511 දෙනෙකු පමණක් තවමත් ප‍්‍රතිකාර ලබන බවයි කොරෝනා මර්දන මෙහෙයුම් ක‍්‍රියාන්විතයේ ප‍්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ.

    නිරෝධායනය අවසන් කළ 73 දෙනෙකු නිවෙස් බලා අද පිටත්ව යන බවද යුද හමුදාපතිවරයා ප‍්‍රකාශ කළා.

    ඇඳිරි නීතිය පනවා ගෙවුණු දින 44ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන හතලිස්හතර දහස ඉක්මවා තිබේ.

    පොලිස් භාරයට ගෙන ඇති සමස්ත රථවාහන සංඛ්‍යාව 11,392 කි.

    මේ අතර ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කළ සහ නීතිවිරෝධි මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයින් රැසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

    ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ මොණරාගල යාල රක්ෂිතයේ කුඹුක්කන් ඔය රක්ෂිත කොටසේ අනවසර අයුරින් පතල් කැණිම්වල නිරතව සිටි පුද්ගලයන් හත් දෙනෙතු පතල් හැරිම සඳහා යොදාගන්නා උපකරණ සමග මොණරාගල වනජිවි නිළාධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ.

    ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ කටුනායක ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවකයන් පිරිසක් නීතිමය අවසරයකින් තොරව වෑන් රථ තුනකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොලිසිය භාරයට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

    ජා - ඇල ඒකල ඔතේ කැළේ කලක පටන් පවත්වාගෙන ගිය මහ පරිමාන නීතිවිරෝධි මත්පැන් ස්කාගාරයක් ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ පස්වරුවේ වටලා තිබේ.

    එහිදි කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ගොඩා මිලිලීටර් හැට අටලක්ෂයක් හා නීතිවිරෝධි මත්පැන් මිලිලිටර් හැටදහසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

    ඇඳිරි නීතිය පවත්නා සමයේ මුතුරාජවෙල වගුරු භූමියේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් පැලියගොඩ දිශා අපරාධ කොට්ඨාශය විසින් වටලා තිබේ.

    ගෝඩා බැරල් තිස්හතක් සහ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගන්නා උපකරණ තොගයක් ද එහිදි පොලිස් භාරයටගත් බව අප වාර්තාකරු පවසයි.

    කොළඹට එළවළු රැගෙන ගොස් ආපසු මුන්දලමට එමින් තිබු කැබ් රථයක සගවා ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ 60ක පමණ වටිනාකමකින් යුත් අයිස් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් හමුදා බුද්ධි නිළධාරින් හා මුන්දලම පොලිසිය එක්ව කල මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන තිබේ.

    එහිදි සැකපිට කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇඹිලිපිටිය පොලිස් වසමේ කදුරුගස්ආර කිරවිලයාය ප්‍රදේශයේ ගංජා වගාකර තිබු ස්ථාන තුනක් ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයොගෙන තිබේ.

    එහි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News