ඇඳිරි නීතිය අතරතුර ජන ජිවිතය යථාවත් කිරීමට ක්‍රියාමාර්ග (වීඩියෝ)

මැයි 11, 2020
  • කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ ඇඳිරි නීතිය බලපැවැත්වෙන අතරතුර ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    අත්‍යවශ්‍ය සේවක සංඛ්‍යාව පමණක් සේවයට කැඳවිය යුතුය. පෞද්ගලික වාහනවලින් සහ අදාළ ආයතනයේ රථවලින් පැමිණෙන රාජ්‍ය සේවකයන්, පෙරවරු 8.30ට පෙර රාජකාරී ස්ථානයට පැමිණිය යුතුය. පස්වරු 4.00ට පෙර රාජකාරි ස්ථානයෙන් පිටවිය යුතුය. සේවා මුර පවත්වාගෙන යන රාජ්‍ය ආයතන සඳහා, එම වේලාවන් අදාළ නොවේ. පෞද්ගලික ආයතනවල සේවකයන්, පෙරවරු 8.30ත් 10.00ත් අතර සේවා ස්ථානයට පැමිණිය යුතු අතර, පස්වරු 5.00ට පෙර සේවය අවසන් කළ යුතුය. පොදු ප්‍රවාහන සේවා සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පිළිපැදීමට වගබලා ගතයුතු බව පොලිසිය පවසයි.

    අත්‍යවශ්‍ය මහජන සේවා සපයන ආයතන සහ වෙළෙඳසැල් විවෘතව තැබීමට අවසර ලබාදී තිබේ. පාරිභෝගිකයන් යා යුත්තේ ආසන්නතම වෙළෙඳසැල හෝ සේවා ස්ථානයට පමණි. මහජන අවශ්‍යතා සඳහා නිකුත් කර ඇති ඇඳිරිනීති බලපත්‍ර හිමි පෞද්ගලික වාහන පෙරවරු 10.30ත් පස්වරු 3.00ත් අතර පමණක් ගමන් කළ යුතුවේ. ඔවුන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව පොලිසිය පෙන්වා දෙයි.

    කුඩා ආපන ශාලා, පෙට්ටි කඩ සහ අවන්හල් පවත්වාගෙන යාමට අවසර ලබාදී නොමැත. සුපිරි වෙළෙඳසැල් විවෘත කර පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රම අනුගමනය කළ යුතුය. ත්‍රීරෝද රථවල දෙදෙනෙකුට හා කුලී මෝටර් රථවල තිදෙනෙකුට ගමන් කිරීමට අවසර හිමිවේ. කොණ්ඩා කපන ස්ථාන සහ රූපලාවන්‍යාගාර විවෘත කිරීමට අවසර ඇතත්, ඊට ප්‍රා දේශීය වෛද්‍ය නිලධාරිවරයාගේ ලිඛිත අවසරය අවශ්‍ය වේ. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට ප්‍රා දේශීය වෛද්‍ය නිලධාරිවරයාගේ අවසරය ලබාගත යුතුවේ. සංචාරක හෝටල් විවෘත කිරීමට අවසර ලබාදී තිබේ. එහෙත්, එහි අවන්හල් විවෘත කිරීමට අවසර නොමැත.

    කොළඹ මැනිං වෙළෙඳපොළ, ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු තොග වෙළෙඳ මධ්‍යස්ථාන පවත්වාගෙන යා යුත්තේ, සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදවලට අනුකූලවයි. සියලු ඉදිකිරීම් සඳහා අවසර ලැබෙන අතර, ඉදිකිරීම් කර්මාන්තයට අදාළ භාණ්ඩ ප්‍රවාහනයට ද අවසර හිමිවේ. වැඩබිම් සඳහා අත්‍යවශ්‍යම සේවකයන් පිරිසක පමණක් කැඳවීම කළ යුතුය. සති හා දින පොළ සහ සමූහ වෙළෙඳපොළ, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන, සමාජ ශාලා සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන නැවත දැනුම් දෙනතුරු වසා තැබිය යුතු බව පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Last modified on සදුදා, 11 මැයි 2020 19:46

    Latest News