ජුනි 21 - අර්ධ සූර්යග්‍රහණයක්

ජූනි 19, 2020

    වලයාකාර සූර්යක්ග්‍රහණයක් අර්ධ සූර්යක්ග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල සිටින ජනතාවට නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙම මස (21) වැනි ඉරිදා දින උදාවන බව නවීන තාක්ෂණය පිළිබඳව ආතර් සී ක්ලාක් ආයතනය කියයි.

    මෙම සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාවේ යාපනයේ ඩෙල්ෆ් දුපත ආශ්‍රීත ප්‍රදේශයට (21) වන ඉරිදා දින උදෑසන 10.30ට පමණ දිස්වීමට නියමිතය.

    එදින චන්ද්‍රයා මඟින් සූර්යයාගේ මුහුණත ආවරණයවීමේ උපරීම ප්‍රමාණය 24% වන අතර, එය කයිට්ස්, කන්කසන්තුරෙයි, වැල්වැටිතුරෙයි හා පේදුරුතුඩුව ආශ්‍රීත ප්‍රදේශ වලදී දිස්වන බව ක්ලාක් ආයතනය පවසයි.

    මෙම සූර්යග්‍රහණය කොළඹ ප්‍රදේශයට උදෑසන 10.29ට පමණ දිස්වීමට නියමිත අතර උදෑසන 11.51 පමණ වන විට එහි උපරිමයට ළඟා වී දහවල් 1.29ට පමණ අවසන් වේ.

    එසේම කොළඹ සිට සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන විට උපරිම වශයෙන් සූර්යයාගේ මුහුණතෙහි 16.5% ක ප්‍රමාණයක් චන්ද්‍රයා මඟින් ආවරණය වන බව ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම සූර්යග්‍රහණය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස් වූවත් මෙය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස අප්‍රිකානු මහද්වීපයෙන් ආරම්භ වන අතර එහි වලාකාර තත්ත්වය මෙන්ම අර්ධ සූර්යග්‍රහණ තත්ත්වය කොන්ගෝ රාජ්‍ය ආදී අප්‍රිකා රටවල් කිහිපයකටත් සෞදි අරාබිය, යේමනය හා ඕමානය ආදී මැදපෙරදිග රටවල් කිහිපයකටත් පාකිස්ථානය, ඉන්දියාව, චීනය ආදී රටවල්වලටත් දැකබලා ගත හැකිය.

    එසේම ශ්‍රී ලංකාව ඇතුලු ඉතාලිය, තුර්කිය, ජපානය, කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව හා ඔස්ට්‍රේලියාව ආදී රටවල් සඳහා මෙහි අර්ධ සූර්යග්‍රහණ තත්ත්වය පමණක් දිස්වන බව ද ක්ලාක් ආයතනය පවසයි.

    Latest News