නුවර පෙරහැරේ කලාකරුවන් - ඇත්ගොව්වන්ටත් වෛද්‍ය පරීක්ෂණ

ජූනි 20, 2020

    මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන සියලු කලාකරුවන් හා ඇත්ගොව්වන් දෛනික වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

    2020 ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය ලෙස සිව් මහ දේවාල කේන්ද්‍ර කර ගනිමින් ජූලි මස 20 වැනි දින කප් සිටුවීමේ මංගල්‍යය සිදු කරන බව දියවඩන නිළමේවරයා සඳහන් කර සිටී.

    ජූලි 25 වැනි දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.

    අවසන් රන්දෝළි පෙරහැර අගෝස්තු මස 3 වැනි පොහොය දින වීදි සංචාරය කර අගෝස්තු 4 වැනි දින දිවා පෙරහැර පවත්වා මෙවර ඇසළ පෙරහැර නිමා වීමට නියමිතයි.

    මෙවර පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව පවත්වනු ලබන අතර, අවම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පෙරහැර මංගල්‍යය පවත්වනු ලබයි.

    ගිය වසරේ පෙරහැර සඳහා අලි ඇතුන් 100 ක් පමණ සහභාගී වුවද මෙවර අලි ඇතුන් 50 - 60 කට පමණ සීමා කර තිබේ.

    සියලු කලාකරුවන්ගේ වෛද්‍ය වාර්තාවක් දින දෙකකට පෙර ලබා ගන්නා බව පැවසු දියවඩන නිළමේවරයා, සියලු දෙනා සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කරන බවද පැවසීය.

    Latest News